Thursday, October 22, 2020
/ - General line - 0115112241 | - [email protected]

ව්‍යාජ සුදුසුකම් පෙන්වා වෘත්තීය පුහුණු අධිකාරියේ ලොකු පුටුවකට ආ නිලධාරිනියක් කෝටි ගණනක් වංචා කරලා : පරීක්ෂණ කරන්න පංච පුද්ගල කමිටුවක්

4920Views

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කරනු ලබන චුලාංගනී පෙරේරා විසින් සිදුකර තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සිදුකෙරමින් පවතින බවට වාර්තා වනවා.

මෙම අධ්‍යක්ෂක ජනරාල්වරිය සිය රාජකාරි ආරම්භ කිරීමේ දිනය පටන් මේ දක්වා විවිධ අයථා ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී ඇති අතර ඇතැම් චෝදනා ඔප්පු කිරීම සඳහා වන සාක්ෂිද ඉදිරිපත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරිය විසින් සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකොට ඇති අතර ඒ අනුව පංච පුද්ගල කමිටුවක් ද පත්කොට ඇත.

මෙම අධ්‍යක්ෂක ජනරාල්වරිය සිය ධුරයට පත්වීමේදී පෙන්වා ඇති වෘත්තීය සුදුසුකම් නිසි පරිදි සපුරා නොමැති බවට චෝදනා එල්ලවී ඇත.

බඳවා ගැනීමේ පටිපාටිය අනුව අධ්‍යක්ෂක ජනරාල් තනතුර සඳහා උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ පිළිගත් පුද්ගලික අංශයේ ආයතනයක කලමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 20ක පලපුරුද්ධ අවශ්‍ය වන අතර අවම මට්ටමෙන් වසර 05ක් ජේෂ්ඨ කළමනාකරණ මට්ටමේ විය යුතුයි. නමුත් මෙම නිලධාරිනිය කලමනාකරණ මට්ටමේ සේවය කර ඇත්තේ වසර 05ක් සහ මාස 04ක් බවයි සනාථ වී ඇත්තේ.

මිට අමතරව මෙම අධ්‍යක්ෂක ජනරාල්වරිය විසින් සිදුකළ බව කියන දුෂණ ක්‍රියාවන් සහ මුදල් වංචාවන් සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇත.

තාක්ෂණික වාර්තා නැවත නැවත සංශෝධනය කරමින් තම සැමියා සේවය කරන ආයතනය හරහා පරිගණක 250ක් මිලදී ගැනීම සහ එම පරිගණක ග්‍රැෆික් ඩිසයිනර් පාඨමාලාවල උපදේෂකවරුන් ඉවත් කිරීම නිසා පාඩු සිදුවීම මින් එක් සිදුවීමක් වනවා.

මෙම සියලු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ වාර්තාවන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කිරිමට නියමිත බවයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.