Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

මං රුපියල් 10 ක් කාගෙන් හරි ගත්තත් ඒක ආපහු දෙනවා.දෙවියෝ වුනත් අපි දිහා බලන්නේ එතකොට ” – ලංකාවේ ලොකුම ටවල් සහ ඇඳ ඇතිරිලි ව්‍යාපාරිකයාගේ කතාව

3402Views

මිනිස්සු හැමදාම එකම තැන ඉන්නෙ නැහැ.දවසින් දවස දියුණු වෙනවා.හැබැයි ඒකට හිතේ විශ්වාසයයි..අවංකකමයි තියෙන්නෙ ඕනේ.

“මම කාගෙන් හරි රුපියල් 10 ක් ගත්තත් ,ආපහු ඒක හරි වෙලාවට එයාගේ අතටම දුන්නා.මොකද සල්ලි හම්බකරන්න පුලුවන්.ඒත් අවංකකම නැති වුනොත් හම්බ කරන්න අමාරුයි”

මෙහෙම කියන්නේ අපේ රටේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයෙක්.ඔහු නමින් S.ක්‍රිෂ්ණමූර්ති මහතා.බොහෝ නිවෙස් වල එල්ලා තියෙන CROWN කියන කැලැන්ඩරය දැක්ක ගමන් දන්න හඳුනන අයට ඔහුව මතක් වේව්.

ඔහු තමයි රට පුරා තුවා සහ ඇඳ ඇතිරිලි බෙදා හැරීමේ ප්‍රමුඛයා..ක්‍රවුන් ආයතනයේ ප්‍රධානියා.

“අපි කරන්නේ හෝම් ටෙක්ස්ලයිල්ස්.ඒ කියන්නේ මිනිස්සු උදේට නැගිටිනකොට වගේම රෑට නිදාගන්න කොටත් එයාලට ඕනම වෙන දේවල් දෙක තමයි අපි විකුණන්නේ.අපි හැමෝම උදෙන්ම නැගිට්ටම හොයන්නේ ටවල් එක.රෑට නිදා ගද්දි අපිට ඕනේ ඇඳ ඇතිරිලි.ඉතින් මගේ බිස්නස් එක මිනිසුන්ගේ ජීවිතේට ගොඩක් සමීපයි.ඒ නිසා මන් ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉඳලා හිතුවේ එක දෙයයි.ඒ තමයි අවංකකම.මිනිසුන්ගේ හිතේ අපි ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕන.එතකොට තමයි දෙවියෝ වුනත් අපි දිහා බලන්නේ “

ක්‍රිෂ්ණමූර්ති මහතා ව්‍යාපාර ලෝකයට එන්නේ අවුරුදු 20 දී.දැන් ඔහුට අවුරුදු 55 යි..ඒ කියන්නේ ඔහුගේ ජීවිතයේ අවුරුදු 35ක් ම ගෙවුනේ මේ ව්‍යාපාරයත් එක්ක.

පිටකොටුවේ තුන් වෙනි හරස් වීදීයේ පිහිටලා තියෙන ක්‍රවුන් ආයතනයට එන ඕනම කෙනෙක්ගෙ නෙත් පැහැර ගන්නා තරම් අපූරුවට , විවිධ ප්‍රමාණයන්ගෙන් ,වර්ග 200 කට ආසන්න වුනු ටවල් සහ ඇඳ ඇතිරිලි එකතුවක් ඔබටත් දකින්න පුලුවන්.

බොහොම පොඩියට පටන් ගත්ත මේ ව්‍යාපාරය අඩියෙන් අඩිය ඉස්සරහට ගෙනාවේ ක්‍රිෂ්ණමූර්ති මහතාගේ හිතේ තියෙන විශ්වාසය නිසාවෙන්මයි.

“අපි කරන දේ හරියට සාධාරණව කරන්න ඕන.එතකොට දෙවියෝ වුනත් අපි දිහා බලලා අපිට ආශිර්වාද කරනවා.මගෙන් තොග මිලට ඇඳුම් ගන්න එන සමහරු පුදුම වෙලා අහනවා “මෙච්චර ගාන අඩුද ?” කියලා.ලාභයක් තියා ගන්න ඕනෙ.ඒත් ඒක සාධාරණ වෙන්න ඕන.පලවෙනි පාරට මං ගාවට එන ගණුදෙනුකරුවෙක් ආපහු පාරක් මං ලඟට එන්නෙ එතකොටයි.

මං අද රට වටේටම ඇඳුම් සපයනවා.විවිධ ආයතනවලට,සංවිධානවලට විතරක් නෙවෙයි,ආමි නේවි එකට පවා මම සැපයුම් ලබා දෙනවා “

පුංචිම තැනින් පටන් අරගෙන ව්‍යාපාර ලෝකයේ ඉහලටම ආපු ක්‍රිෂ්ණමූර්ති මහතා එහෙම කියන්නේ හරිම ආඩම්බරයෙන්.

“මම අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි බැංකුවකින් උදව් ඕන වුනා බිස්නස් එක දියුණු කරගන්න.මේන් ස්ට්‍රීට් එකේ සෙලාන් බැංකුව තමයි මට උදව් කලේ.බැංකුව මන් ගැන තියපු විශ්වාසය මන් කවදාවත් නැති කරේ නෑ.මටත් එයාලා හැම වෙලාවෙම උදව් කලා.බැංකුවේ ඉහලම නිලධාරියාගේ ඉඳලා පියන්,සිකියුරිටි පවා මාව හඳුනනවා.පහුගිය දවසක එයාලා මාව පුදුම කෙරෙව්වා.කොරෝනා නිසා මගේ පවුලේ අය පිටරට හිටියේ එන්න බැරුව.ඉතින් මට සෙලාන් බැංකුවෙන් කතා කරලා කිව්වා ,පුලුවන්නම් දවල් වෙලා පොඩ්ඩක් ඒ පැත්තෙ එන්න කියලා..එයාලා නිතරම මට ව්‍යාපාරික උපදෙස් දීලා මට අලුත් දේවල් ගැනත් කියලා දෙනවා.ඉතිං මං ඇයි කියලා ඇහුවම කිව්වා “නෑ..ඔබතුමා එන්නකෝ “කියලා..අනේ මම ගියා.එයාලා මගේ උපන් දිනේට මන් වෙනුවෙන් කේක් එකකුත් ලෑස්ති කරලා,ඒකත් කපලා මට සුභ පැතුවා.ඒ මගේ 55 වෙනි උපන් දිනේ.මට හරිම සතුටුයි”

ක්‍රිෂ්ණමූර්ති මහතා එහෙම කියන්නේ හරිම සංවේදීව.

ඇත්ත..ඔහු කියන විදිහට අවංකකමයි, විශ්වාසයයි තියෙනවනම් මිනිහෙක්ට වරදින්නේ නැහැ.

අවසානයට ඔහු කිව්වේ මෙහෙම දෙයක්.

“මගේ දරුවෝ දෙන්නම ඉගෙන ගත්තේ ලංකාවේ.අද ඒ දෙන්නම වෛද්‍යවරු.ඉතින් මන් ඉන්න තැන ගැන සතුටුයි.අවුරුදු 20 දි පටන් ගත්ත බිස්නස් එක මං මහන්සිවෙලා කැපවෙලා අද හොඳම තැනකට ගෙනාවා.ඕනම කෙනෙක්ට දියුණු වෙන්න පුලුවන්,හිතේ අවංකකම තියෙනවනම්”…

කාලයක් ගියත් ,ඔහුගේ කතාව හැමෝටම ආදර්ශයක් වේවි..