Friday, January 22, 2021
/ - General line - 0115112241 | - [email protected]

46 වසරක අදුරු මතකය රැගත් සප්ත කන්‍යා ගුවන් අනතුර .

1165Views

සප්ත කන්‍යා කඳු වැටිය පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරය පිහිටි නෝටන් බ්‍රිජ් නගරය පසුකර බිංදුව කණුව පිහිටි ඩබල් කටින් නමැති මංසන්ධියෙන් වමට හැරි ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දිය ඇල්ල ඇස ගැටේ. එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් ඇත්තේ සප්ත කන්‍යා කඳුවැටියයි. එක කුස උපන් සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා ඇති කඳු හතක් නිසා සප්ත කන්‍යා ලෙස ඕ නම් ලැබුවාය.

දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැගවී සිටින සප්ත කන්‍යා කඳු වැටිය කඳු තරනය කරන්නන්ගේ පාරාදිසයකි.මීට හරියටම හතලිස් පස් වසරකට පෙර බදාදා දිනක රාත්‍රී 10 පසු වී කෙටි වෙලාවකට පසුව මහා ගිගුරුම් හඬක් කණ වැකුණු අයුරු ඇතැම් ගම්වැසියෝ අදටත් සිහිපත් කරති.
ඒ ඉන්දුනීසියාවේ සුරාබයා නුවර සිට මක්කම බලා බැතිමතුන් රැගෙන පියාසර කරමින් තිබුණු ‘මාටින්එයාර්‘ සේවයට අයත් මැක්ඩොනල් ඩග්ලස් ඪ්සී-8 වර්ගයේ ගුවන් යානය කඳු වැටියේ ගැටුණු හඬය.මහා ගිනි ජාලාවක් නංවමින් විනාශයට පත් යානයේ සුන්බුන් වෙත ළඟා වූ ගම්වැසි තරුණයන්ට අවට විසිරී තිබුණු ශරීර කොටස් දැක ගත හැකි වූ බව පැවසේ.පසුදින උදෑසන වන විට විශාල පිරිසක් අනතුර සිදු වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ ඇති අතර ඇතැම් පුද්ගලයන් යානයේ ඉදිරි වූ කොටස් මතක සටහන් වශයෙන් රැගෙන ගිය ආකාරය ඇතමෙක් අදටත් සිහිපත් කරති.පසුව හමුදාව සහ පොලිසිය කොටස් රැගෙන යාම වැළැක්වීමට පියවර ගෙන තිබිණි.එලෙස රැගෙන ගිය ගුවන් යානයේ කොටස් අදටත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ ඇති ආකාරය දැක ගත හැකිය.

යානාවේ ගමන් ගත්ත මගීන්ගේ මළ සිරුරු විශාල ගණනක් සප්ත කන්‍යාවේ දෙබොක්කාවට වැටිලා තිබුණා. අනතුර සිද්ධ වුණු තැන බලන්න ආව පුද්ගලයෙකුත් මේකට ම වැටිලා මිය ගිය බවකුත් වාර්තා වුණා. මගීන්ගේ සිරුරු බොහොමයක් ඉස්ලාමීය අවමංගල චාරිත්‍ර වාරිත්‍රවලට අනූව කඳු වැටිය කිට්ටුව ම මිහිදන් කෙරුණා. ගුවන් යානයේ ඉඳපු එක ගුවන් සේවිකාවකගේ සිරුරක් නම් ආයෙත් ඕලන්දයට අරන් ගිහින්. ඒ ඇගේ පෙම්වතා විසින්.

මාටින්එයාර් සමාගමෙන් හා මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ සමාගමෙන් ඇවිල්ලත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. ඒත් හරි හැටි තොරතුරක් වාර්තා කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අනතුර වෙච්ච අලුත කුඩා ගුවන් යානයක් කුලියට ගත්ත බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකුත් ඒකෙන් මස්කෙළියට ඇවිදින් මේ ගැන විස්තර හොයාගන්න උත්සහ කළත්, එකළ රජය ඒකට අවසර දුන්නේ නැහැ. ඒ නිසා අදටත් මේ ගුවන් යානා අනතුරට හරි හේතුව අභිරහසක් ව පවතිනවා.


තවත් කාණ්ඩයක් කියන විදියට මේ අනතුර වෙලා තියෙන්නේ කොළඹ ගුවන් ගමන් පාලක මැදිරියේ වැරැද්දෙන්. අඩි 35000 ක්‌ උඩින් ගමන් ගත්ත ගුවන් යානයට, අඩි 2000ක් දක්වා පහළට එන්න උපදෙස් දුන්නේ කවුද කියන එක ගැන අදටත් හොයාගන්න ලැබිලා නැහැ. පළපුරුදු ගුවන් නියමුවෙක් වගේ ම, ලංකාවට ආව ගිය කෙනෙක් වෙච්ච හෙන්රික්‌ ඒ වගේ උපදෙසක් පිළිගත්තේ ඇයි කියන එකත් ගැටළුවක්. අනික ඒ කාලේ ලංකාවේ ගුවන් පාලක මැදිරිය තිබුණේ තාක්ෂණික අතින් සෑහෙන්න අඩු තත්ත්වෙක. මේ චෝදනාව ඔවුන්ට එල්ල වෙන්න පළමුවෙනි හේතුව වෙන්නෙත් ඒකයි.

අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණි මරණයට පත් මගීන්ගේ ඥාතීන් හැඩු කඳුලින් සිය ආදරණීයයන් හඳුනා ගැනීමට ගත් උත්සහය සාර්ථක නොවීය.මගීන් 182 දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු එහි ගමන් කර තිබිණ. ගුවන් යානයේ කොටස් අදටත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ ඇත.මරණයට පත් පිරස අතර කාන්තාවන් 59 ක් සිටි බව පසුව අනාවරණය වූ අතර මියගිය පිරිසගේ ශරීර කොටස් එකතු කර කඳුවැටිය පාමුලම මිහිදන් කරනු ලැබිණි. පසුව ඔවුන් සිහි ගැනිවීමට ස්මාරකයක් එහි ඉදි කෙරිණ.

ගුවන් යානය නිසා හානි වෙච්ච සප්ත කන්‍යා කඳු පර්වතයේ ඒ වැදුණු සළකුණ අදටත් දැකගන්න ලැබෙනවා. මේ විදියට විනාශ වෙච්ච ගුවන් යානයේ කෑලි ගම්මු ගොඩක් අය එකතු කරගෙන. පස්සේ කාලෙකදී මේවා ලොකු ගණන්වලට විකුණලා. මේ අතර තිබුණු යානයේ ටයරයක් පාවිච්චි කරලා හදපු ස්මාරකයක් මේ වෙද්දීත් නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ තියෙනවා.

අවිස්සාවේල්ල, ගිණිගත්හේන පාරෙන් හැටන් හරහා ශ්‍රී පාදය වඳින්න යන උදවියට මේක දැකගන්න පුළුවන්. මිය ගිය ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අයගේ නම් කොටපු ගලකුත් මේ ස්මාරකය පාමුළ තියෙනවා. 

 

“කන්දේ හැපුන මහ වනන්තරේ

ඩී සී 8 ගුවන් යන්තරේ.

මරුවා ආ කල මිතුරේ

බේරෙන්න බෑ සසරේ

කාගෙද මට වරද නොතේරේ,“

ගුවන් අනතුරෙන් පසු ගායක ඇන්ටන් ජෝන් මහතා විසින් එම සිදුවීම අලලා ගීතයක් ද නිර්මාණය නිර්මාණය කරා. 

අනතුර සිදු වී දශක හතරකට වැඩි කාලයක් ගත වී ඇතත් මිනිස් ජීවිත 191 ක් බිලිගත් ඛේදවාචකය පිළිබඳ එවක තරුණ වියේ පසු වූ වැඩිහිටි ගම්වාසීන්ට ඇත්තේ පැහැදිලි මතකයකි.ඇතැම් වසරවල දෙසැම්බර් 04 වෙනිදාට මිය ගිය මගීන්ගේ ඥාතීන් මෘද දේහ මිහිදන් කළ ස්ථානයට පැමිණ ඔවුන් සිහිපත් කර ආගමික වතාවත් සිදු කරන බවත් ගම්වාසීහු පවසති.