Monday, April 12, 2021
/ - General line - 0115112241 | - [email protected]

අධිකරණ නියෝගය නොලැබීම නිසා ක්‍රීඩා ඇමති නාමල්ට රාජපක්ෂට කටුනායක ගුවන් තොටුපොළේදී මුහුණ දීමට සිදුවූ දේ 

2583Views

විදේශගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන පැමිණි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ඒ සඳහා අවසර ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවසර නොදීම හේතුවෙන් යම් ප්‍රමාදයක් ඇතිවූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා. 

අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ වූ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත කල් වේලා ඇතිව නොලැබී තිබීම මිට හේතුව බවයි තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කලේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ඇතුළු 07 දෙනෙකු ගෙන් යුත් පිරිසක් අද දින උදෑසන 10.00ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුනා.

එහෙත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබූ අතර , ඉන් එකක් ඉකුත් පසුගිය 04 වෙනිදා ඉවත් කර තිබු අතර අනෙක් නියෝගය ද එදිනම ඉවත් කළ ද  ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණා.

ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද දින විදේශගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබු බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට විදේශගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහෙත් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ  ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබු බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කලේ.