Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

අගමැතිගේ උපදෙස් නොතකා අධ්‍යාපන ලේකම් සිදුකළ අමන ක්‍රියාවක් හෙළිවෙයි

9007Views

දිවයිනේ ප්‍රධාන පාසැල් සඳහා වන විදුහල්පති පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ කටයුතු පසුගියදා සිදුකෙරුණා. 

කෙසේ වුවත් මෙම විදුහල්පති සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කර ඇත.

එම සම්මුඛ පරීක්ෂණයේදී විදුහල්පති ධුරය දැරීම සම්බන්ධයෙන් ලකුණු ලබාදීමක් සිදුනොකළ අතර සම්මුඛ පරික්ෂණය මෙහෙයවන නිලධාරින් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි ලකුණු 45ක් ලබාදීම සිදුකර තිබුණා.

එලෙස ලකුණු ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කිරිම සම්බන්ධයෙන් ඇතැම් විදුහල්පතිවරුන් විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද පැමිණිලි කිරිමට ක්‍රියා කර තිබුණා.

කොළඹ විශාකා විදුහලේ පුරප්පාඩුවී තිබෙන විදුහල්පති ධුරය සඳහා පැවති  සම්මුඛ පරීක්ෂණයේ දී වැඩිම ලකුණු ලබාගනු ලැබුවේ මිලාගිරිය සාන්ත පාවුළු බාලිකා විදුහලේ විදුහල්පතිනිය බවට අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතට දැන ගැනීමට ලැබුණේ අග්‍රාමාත්‍යවරයා විසින්  සිදුකළ විමසිකමදීය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට උපදෙස් ලබා දෙමින් සඳහන් කර තිබුණේ වැඩිම ලකුණු ලබාගත් කෙනාට එම ධුරය ලබා දෙන ලෙසයි.

අගමැතිවරයා විසින් ලබාදුන් උපදෙස් තුට්ටුවකට මායිම් නොකළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ දිනයේදී වෙනත් අයෙකු විශාකා විදුහලේ විදුහල්පතිධුරය සඳහා පත් කිරිමට පියවර ගෙන තිබුණා.

එලෙස කොළඹ විශාකා විදුහලේ නව විදුහල්පතිනිය ලෙස පත්කර සිටින මනෝමි සෙනවිරත්න කලක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරියක වශයෙන් සේවය කරනු ලැබූ අතර එහිදී ඇය හට ආසියානු සංවර්ධන බැංකුව හරහා විභාග දෙපාර්තමේන්තුවට ලබාදුන් මුල්‍යාධාර මත රුපියල් මිලියන 08ක් වියදම් කොට ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක "තක්සේරුව" පිළිබඳව පුහුණුවක් ද ලබාදීම සිදුකෙරුණා.

කෙසේ වුවද එම පුහුණුව නිමකර යලි දිවයිනට පැමිණි එම නියෝජ්‍ය කොමසාරිස්වරියව හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිතගේ විරෝධය නොතකා ඉකුත් සැප්තැම්බර් මාසයේදී රත්නපුර සුමන බාලිකා විදුහලේ විදුහල්පතිනිය ලෙස පත් කිරීමට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පියවර ගනු ලැබුවා.

තවද එම විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස පත් කරනු ලැබූ ඇයව ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැත්වූ කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති තේරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා ගනු ලැබුවේ කෙසේ ද යන්න ප්‍රශ්න කළ යුතු කරුණක් වන අතරම, ඇයවම විශාකා විදුහලේ විදුහල්පතිනිය ලෙස අධ්‍යාපන ලේකම්වරයා පත් කිරිම ද මවිතය දනවන හා සැක මතුවන කරුණක් වේ.

මන්ද මිලියන 08ක් වියදම් කොට විදේශ රටක පාඨමාලාවක් හදාරා පැමිණි නිලධාරිනියක් සිටිය යුත්තේ පාසලක විදුහල්පති පුටුවේ නොව ඇය ලැබූ අධ්‍යාපනය තුලින් රටට සේවයක් ඉටුකළ යුතු තැනක වීම නිසාවෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාව පිළිබඳව  කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව පැමිණිලි කිරිමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කර සිටින්නේ අත්දැකීම් සම්භාරයක් නැති අය පත් නොකර සුදුසුකම් ලත් අය පමණක් තෝරා පත් කර ගැනීමෙන් අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබාදී මෙම විදුහල්පති තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සිදුකරනු ලබන ලෙසයි.

රටක අනාගතය රඳා පවතින්නේ මතු පරපුර භාර ගැනීමට සිටින දරුවන් මතයි. දරුවන්ට නිසි අධ්‍යාපනයක් මෙන්ම නායකත්ව පුහුණුව ලැබිය යුතු පාසැල තුලින් නිසා පාසැල ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම ඇත්තේ විදුහල්පති මතය. 

සුදුස්සාට සුදුසු තැන ලබා නොදීමෙන් සිදුවන්නේ එම පාසැල් වල අනාගත අභිවෘද්ධියට කණකොකා හැඩීමක් පමණයි. 

එවැනි සුළු දෙයක් තේරුම් ගැනීමට අපොහොසත් මෙවන් අධ්‍යාපන ලේකම්වරයෙකු ගෙන් රටේ අධ්‍යාපන ක්‍රමවේදයට ඇතිවන බාධාව ඉවත් කිරිම රටේ පාලකයින්ගේ ප්‍රධාන වගකීම බව පසක් කර දිය යුතුමය.