Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ සැඟවුණු තොරතුරු මෙන්න

1506Views

පානදුර ප්‍රදේශයේදී ගිලන් රථයක රියැදුරුට වෙඩි තැබීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළි වී තිබේ.

අදාළ වෙඩි තැබීම පානදුර මූලික රෝහල ඉදිරිපිට අද (ජන. 27) දහවල් සිදුවී ඇති අතර  යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු ගිලන් රථ රියැදුරුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුට ත් හානි සිදුව නැතැයි ද පොලිසිය ප්‍රකාශ කර ඇත.

පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර හෙරොයින් මත්කුඩු කිලෝ 45ක් යුද්ධ හමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දීම වෙඩි තැබීමට ආසන්නතම හේතුව බවට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

ගිලන් රථය පෙරවරු 11.15ට පමණ පානදුර කේතුමතී කාන්තා රෝහලෙන් පිටත්ව පානදුර මූලික රෝහලට පැමිණ ඇති අතර, ගිලන් රථය ලුහුබැඳ පැමිණි තුවක්කුකරුවන්, රථය පානදුර මූලික රෝහලට ඇතුළු කරනවා ත් සමග ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී වෙඩි තබා මොරටුව දෙසට පළා ගොස් ඇති බවට ලද තොරතුරු මත පරීක්ෂණ සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කර ඇත. වෙඩි තැබීමට පැමිණ තුවක්කුකරුවන් පිස්තෝල දෙකක් රැගෙන පැමිණ ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි ද පොලිසිය සදහන් කර තිබේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ වැටී තිබුණු ජීව උණ්ඩයක් ද සොයා ගත් බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසා ඇත.