එළඹෙන 09 වෙනිදා කොළඹට පැමිණෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කරන ප්‍රකාශයන් පිළිබඳව විවිධ පාර්ශව අදහස් පල කර සිටිනවා.
වෙනත් කිසිඳු පාර්ශවයක් මේ වන විට එවැන්නක් සූදානම් කොට නොමැති අවස්ථාවක ෆොන්සේකා මහතා විසින් පුන පුනාම එවැන්නක් පැවසීමෙන් ජනතාව තවත් කලබලයට පත්විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රටෙහි පවතින අස්ථාවරත්වය තවත් පැවතියහොත් IMF ණය සහනය ලැබීමට තවත් කාලයක් ගත වනු ඇති අතර ,එම තත්වය විදෙස් ආධාර ලබා ගැනීමටද බලපෑමක් ඇති කරනු ලබනවා.
එය මෙරට උද්ධමනය තව දුරටත් ඉහළ යාමටද හේතුවක් වනු ඇති අතර එහි පීඩනය දරාගැනීමට සිදුවන්නේද සාමාන්‍ය මහ ජනතාවටයි.
පසුගිය 09 වෙනිදා සහ 13 වෙනිදා සිදු වූ ගැටුම් හේතුවෙන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ අතර රජයේ ප්‍රධාන ආයතන කිහිපයක්ම අරගලකරුවන් විසින් අත් පත් කරගනු ලැබූවා.එමෙන්ම රජයේ ප්‍රධානතම රූපවාහිනිය වන ජාතික රූපවාහිනියේ විකාශන කටයුතුවලටද ඔවුන් බලපෑම් එල්ල කල අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසටද කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබූවා.
මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තීරණයට එකඟ නොවෙමින් එහි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් වීමට කැමැත්ත පලකොට ඇතැයිද වාර්තා වෙනවා.
ඔවුන් පවසා ඇත්තේ තවත් කල් මැරීමෙන් සිදු වන්නේ රට වල පල්ලට යාම බැවින් මේ මොහොතේදී කල යුතුව ඇත්තේ සියලු දෙනාම එකට එක් වීම බවයි.සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයන් තුළින් සිදුවන්නේ ජනතාව තවත් කුපිත ගැන්වීම බව ඔවුන් විසින්ද පෙන්වා දී තිබෙනවා.
ව්‍යවස්ථාදායකය නියෝජනය කරන වගකිවයුතු මන්ත්‍රීවරයෙකු මෙලෙස හැසිරීම කොතරම් යුක්ති සහගත ද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.