Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

අපි තරම් කැප කිරීම් කරපු පිරිසක් තවත් කොහෙන්ද ? රාජපක්ෂවරු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට හේතුව නාමල් කියයි

4173Views

 

 
 

 

 

රාජපක්ෂවරුන්ගේ දේශපාලන අනාගතය තීරණය කරන්න කැරැල්ලකට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මේ ඔහු ඒ සම්බන්ධයෙන් පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්චාවක්.

මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් පත්වූ ජනපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ ද, තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක අගමැතිවරයා බවට පත්වූ මහින්ද රාජපක්ෂ ද කියන දෙදෙනාටම මේ වන විට සිය ධුරයන් අත්හරින්නට සිදුව තිබේ. රටේ ඇතිවූ ආර්ථික අර්බුදය දේශපාලන සුනාමියක් බවට පත්ව ඔවුන්ගේ ධුරයන් මෙසේ එයට බිලිවද්දී, රාජපක්ෂවරුන්ගේ දේශපාලනයද මෙතැනින් අවසන් විය යුතු බවට මතයක් අරගලය විසින් ජනගත කෙරිණි. අද රට වැටී ඇති තැනට ප්‍රධාන වශයෙන් වගකිවයුතු පාර්ශ්වය වශයෙන් එල්ලවූ චෝදනා හමුවේ, එදා ජනතාව පිරිවරාගෙන නායකත්වයේ අසනාරූඪ වූ රාජපක්ෂවරුන්ට, විටෙක පොදු මහජනයාගෙන් වසන්වෙමින් හමුදා කඳවුරුවල රහසිගත ජීවිත ගත කිරීමට සිදුවන තැනට සමාජ පරිසරය පරිවර්තනය විය. එම නිහැඬියාව බිඳිමින් රාජපක්ෂවරුන්ගේ තුන්වැනි පරම්පරාවේ දේශපාලන චරිතය වූ නාමල් රාජපක්ෂ විසින් මාධ්‍යයක් හමුවේ පළමු වරට මෙසේ සංවාදයක් යෙදිනි.

දශකයට පමණ එපිට මෙරට වන්දනීය චරිත වූ රාජපක්ෂවරුන්ට ඉතිහාසයේ කවරදාකවත් නැති තරම් නින්දා ගැරහුම් ලබන තැනට පත්වුණා. ඇත්තටම මොකක්ද මේ වුණේ. රාජපක්ෂවරුන්ව දේශපාලනයෙන් එළවාදැමීම රටේ මූලික කාරණාවක් වන තැනට කරුණු සකස්වුණේ කුමක් නිසා කියලද හිතන්නේ… මා නගන මේ ප්‍රශ්නය, ඔබට ස්වයං විවේචනයකට අවස්ථාවක් කර ගන්නත් පුළුවන්.

පළමු දේ තමයි ජනතාවට මුහුණ දෙන්න සිදුවුණු ගැටලු. එක පැත්තකින් කොවිඩ් රෝගය. ගෝලීය වසංගතයක් වන කොවිඩ් තවමත් සම්පූර්ණයෙන්ම ලංකාවෙන් තුරන් වෙලා නෑ. ඒ වගේම ගෝලීය වශයෙන් විවිධ නව වෛරස් සහ වසංගත පිළිබඳව කතා වෙන යුගයක් බවටත් මේ කාල සීමාව පත් වෙලා තියෙනවා. එදා ඒ අවදානම අදට වැඩිද දැඩිව දැනුනා. සමාජයටම මරණ බිය දැනුණා. ගෝලීය වශයෙන් ඇතිවුණු කොවිඩ් වසංගතය යම්තාක් දුරට හෝ පාලනය කරමින් ඉදිරියට ආ කාලසීමාව තුළ, ආර්ථික වශයෙන් යම්කිසි දරුණු පීඩාවකට අපේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදුවුණා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලසීමාව තුළ, විශේෂයෙන්ම පොහොර සහනාධාරය කප්පාදු කරමින් රසායනික පොහොර වෙනුවට ඉතාමත් කඩිනමින් කාබනික පොහොර හඳුන්වාදීමට උත්සාහ ගැනීම වැනි යම් යම් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ කිහිපයක් මේ ජනතා විරෝධය ඇති වීමට ඍජුවම බලපෑවා. විශේෂයෙන්ම ඒ කාබනික පොහොර වැඩසටහන පිළිබඳව සහ කොවිඩ් වසංගතයක් සමග ලෝකයේ පවතින ආර්ථික අවපාතය, අපේ රටේ සංචාරක ව්‍යාපාරයට එයින් සිදුවන බලපෑම ආදී කාරණා පිළිබඳව නිසි වෙලාවට ජනතාව දැනුම්වත් නොකිරීම, එහෙමත් නැත්නම් ඉහත කී කාරණා පිළිබඳව නිසි අයුරින් සන්නිවේදනය නොකිරීම මේ ගැටලුවට විශාල හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා.

රටේ පාලනය ගැන යම් යම් තීන්දු තීරණ ගැනීම පිළිබඳව බොහෝ අයගෙන් විවිධ අදහස් යෝජනා ආවා වගේම චෝදනාත් ඉදිරිපත් වුණා. මේ කාරණා සියල්ලම එකතුවෙලා පවතින රජයට විරුද්ධව යම්කිසි විරෝධතාවක් එහෙමත් නැත්නම් කැරැල්ලක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වෙද්දී රාජ්‍ය පාලනය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් ඇති වුණා. පසු කාලීනව එය ස්වාභාවිකවම නිරායාසයෙන් රාජපක්ෂ විරෝධයක් බවට පරිවර්තනය වුණා.

දැන් රාජ්‍ය කවුරු විසින් පාලනය වුවත්, ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍යය වැඩපිළිවෙළට සහයෝගය ලබා දීම තමයි මේ මොහොතේ අපි සිදු කළ යුතුව තියෙන්නේ. ඒ හැර අර්බුදයක් පවතින අවස්ථාවේදී වෙනත් කාරණා වලට මූලිකත්වය දිය යුතුයි කියලා මම හිතන්නේ නැහැ.

අද තත්ත්වය ඔය කියන්නා වූ වසංගත තත්ත්වයක් හෝ වෙනත් තීරණයක් වැරදීමෙන් ඇතිවූ ආර්ථික පීඩනයක් මත සිදුවුණාය කියලා අපි හිතමු. ඒ අනුව ජනතාවගෙ පීඩනය සාධාරණයි කියලත් හිතමු. ඒත් දකුණු ආසියාවෙ විශාලම ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරල තිබෙන පසුබිමකත් 2015 දී රාජපක්ෂ පාලනය පරදිනවා. එදා වැරදුනේ කාටද? ජනතාවට වැරදුනාද? නැතිනම් එදත් රාජපක්ෂවරුන්ට වැරදුණාද?

දේශපාලනික වශයෙන් ජනතාව කැමති නායකයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිත කිරීම ජනතාවට හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඉතිහාසයේ සිටම ජනතාව එවැනි තෝරාගැනීම් කරනවා කියලා අපි දන්නවා. නමුත් කාලයෙන් කාලයට ජනතාවගේ අවශ්‍යතාවන් වෙනස් වෙනවා. ඒ වගේම ලෝකයේ ඇතිවන ප්‍රවණතාවන් අනුව ජනතාව ආණ්ඩු තෝරාගන්නා ආකාරයන් අපි දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව දේශීය ආර්ථිකය සහ කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගෙන වැඩසටහන් දියත් කළා. නමුත් විවෘත ආර්ථිකයත් සමග ඊට පස්සේ පාලකයන් ඒ දේශීය කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් වැඩසටහන් මුළුමනින්ම වෙනස් කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවුරුදු 10ක පාලන කාල සීමාව ලංකාවේ ස්වර්ණමය යුගය කියලා මම හිතනවා. වසර තිහක් පුරාවට පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දාලා අද වෙද්දි මේ රටේ තියෙන සියලුම යටිතල පහසුකම් වැඩි දියුණු කළා. ඒ වගේම අද සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්ට විරෝධතා එල්ල කරන්නත් සමාජ මාධ්‍යයට අවශ්‍යය යටිතල පහසුකම් පවා හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපේ රටේ 40% කට පමණක් සීමා වෙලා තිබුණ විදුලිය 100% දක්වා ලබාදීමට එතුමා කටයුතු කළා.

අද තෙල් පෝලිම් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. 88, 89 කාල සීමාව තුළත් ලංකාවේ මෙවැනිම විශාල ආර්ථික අපහසුතා ඇති වෙලා තියෙනවා. නමුත් ඒ කාලේ මිනිස්සුන්ට මේ තරම් වාහන තිබුණේ නැහැ. ඒ වගේම මේ තරම් ඉන්ධන පිරවුම්හල් ඒ කාලයේ ස්ථාපිත කරලා තිබුණෙත් නැහැ. අපේ රටේ මධ්‍යම පන්තියක් ගොඩනඟලා වාහන භාවිතය පුළුල් කළෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ අවුරුදු දහයක පාලන කාලසීමාව තුළදීමයි.

2015 වෙද්දී අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් වෙනස් වුණා. දේශපාලන පක්ෂයක් විදිහට අපේ අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීමට රටේ තිබුණු නැඹුරුව තේරුම් ගන්න අපිට නොහැකි වුණා කියලා මම එදත් කිව්වා. අදත් මම ඒ මතයේ ඉන්නවා. දේශපාලනය කියවීම සාර්ථක වුණත් එය ක්‍රියාත්මක කිරීමේදී ලෝකයේ නැඹුරුව හඳුනා ගත යුතුයි. ජනතාවගේ අවශ්‍යතාවට වඩා ලෝකයේ පවතින දේශපාලන ස්වභාවය හඳුනා ගැනීමට නොහැකි වීම නිසා අපි එදා මැතිවරණය පරාජය වුණා. එහි චෝදනාව ජනතාවගේ පැත්තට එල්ල කිරීම සාධාරණ නැහැ. අපි මැතිවරණයකට සූදානම් වෙද්දී, මේ සියලු කාරණා අවබෝධයට අරගෙන කටයුතු කළ යුතුයි.

එයමද එකම කාරණය… ඇයි එදා මහින්ද රාජපක්ෂ ජනපති යුගය අවසන් වෙන්න, ඔබ සහ ඔබේ සහෝදරයන් දෙදෙනාත් වගකිව යුතු බවට නැගෙන චෝදනාව අමතකද?

එලෙස රාජපක්ෂ පවුලේ පුතුන්ට චෝදනා කිරීම මම දකින්න දේශපාලන උපක්‍රමයක් විදිහටයි. සාමාන්‍යයෙන් අපි මැතිවරණයකට සූදානම් වෙද්දී, අපේ විරුද්ධවාදියාගේ තියෙන දක්ෂතාවන්, හැකියාවන්, නොහැකියාවන්, දුර්වලතාවන් වගේම ඔහුගේ සමාජ පරිසරය පිළිබඳවත් අපි අධ්‍යනයක් කරනවා.2015 මැතිවරණයේදී ඔවුන් පාවිච්චි කළේ ඒ උපක්‍රමය. එහිදී පවුලේ ඥාතීන්ට සහ දරුවන්ට විරුද්ධව යම් කිසි මතවාදයක් ගොඩ නඟන්න උත්සාහ ගත්තා. මේ ක්‍රමය ලංකාවේ පළවෙනි වතාවට අත්හදා බැලූ මැතිවරණ උපක්‍රමයක් නෙමෙයි. ඒ වගේම මේ ක්‍රමය ඉන්දියාව පාකිස්ථානය වැනි අපේ කලාපයේ රටවල විතරක් නෙමෙයි දියුණු දේශපාලන සංස්කෘතියක්, ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවා යැයි කියන ඇමරිකාව වැනි රටවලත් දකින්න ලැබෙනවා. මැතිවරණ ව්‍යාපාරයකට ලෑස්ති වෙද්දී දේශපාලනඥයන් විවිධ උපක්‍රම ගොඩනගනවා. පාර්ලිමේන්තු ජනාධිපති මැතිවරණයේදී පමණක් නෙමෙයි, ගමක සාමාන්‍ය සමිතියක තනතුරක් සඳහා පුද්ගලයන් තෝරා ගනිද්දී පවා ඔහුගේ පවුලේ විස්තර හා දරුවන් සම්බන්ධ තොරතුරු අරගෙනම මඩගහනවා අපි දැකලා තියෙනවා. එදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් කරන්න ඇත්තේ ඒ දේම තමයි.

ඒ වුණාට ඔබ දළදා මාලිගාව ඉදිරියේ රේස් පැද්දාය කියපු චෝදනාව සුළු පටු නැහැ

නුවර පාරවල් වහගෙන රේස් පැද්දා කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ කතාව මම එදත් ප්‍රතික්ෂේප කළා. අදත් ප්‍රතික්ෂේප කරනවා. එදා අපට ඒ අභූත චෝදනාව එල්ල කරපු වගේම ලැම්බෝගිනි දාසයක් ලංකාවට ආවා කියපු අනුර කුමාර දිසානායක මහත්මයාම, එදා එහෙම කතාවක් කිව්වේ නෑ කියලා අද කියනවා. එහෙම කළේ නැහැ කිව්වත් ඒ අතීතයෙ අපිට වෙන්න ඕනි හානිය වුණා. එදා බොරු කට කතා පතුරමින් ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් පවා ප්‍රසිද්ධියේ අපිට බොරු චෝදනා එල්ල කළා.

ඒවා අභූත චෝදනා නම් ඇයි ඔබට බැරිවුණේ නීතිය ඉදිරියට ගිහින් ඒ අභූත චෝදනා නගපු අයට එරෙහිව පියවර ගන්න?

ඔබ හිතනවද එයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අප රටේ තිබෙනවාය කියලා. එහෙත් හෙට දවසේ හෝ ඒ නීතිමය රැකවරණය මේ සමාජයට ලැබිය යුතුයි. මෙවැනි ප්‍රකාශ හා සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය රාමුව අපේ රටට හඳුන්වලා දුන්නේ නැත්නම්, නාමල් රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂ මේ දරුවන්ට පමණක්ම කරන අසාධාරණයක් නෙමෙයි. එසේ නොවෙන තාත්කල් මේ රටේ තමන්ගේ මතවාදයෙන් එපිට ඕනෑම පුද්ගලයෙක්ගෙ චරිතය ඝාතනය කරන්නත්, ඔවුන්ගේ අනාගතයට කළු පැල්ලමක් ඇති කරන්නත් මේ පිරිස් උත්සාහ ගන්න පුළුවන්.

මම තාක්ෂණික අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා සමග එකතු වෙලා ජාත්‍යන්තර නීති පිළිබඳව පවා අධ්‍යනය කරලා මෙවැනි බොරු චෝදනාවලට එරෙහිව කටයුතු කරන්න අවශ්‍යය නීතිමය රාමු සකස් කරලා තියෙනවා. එය ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කළොත් බොරු චෝදනා එල්ල කිරීම් මඩ ගැසීම් කටකතා පැතිරවීම් බොහෝමයක් යම්කිසි පාලනයකට ලක් කළ හැකියි කියලා මම හිතනවා. එහෙම නොවුණොත් සමාජ මාධ්‍ය හැසිරීම පවා පාලනය කරගන්න බැරි තත්ත්වයකට ඇවිත් අවසානයේ සමාජ මාධ්‍ය හරහා සාධාරණව මුදලක් උපයන තරුණයෙක්ට එම කටයුතු කර ගන්න බැරි වාතාවරණයක් ඇති වෙන්න පුළුවන්.

මෙරට දේශපාලනයේ ජරාජීර්ණ සංස්කෘතිය පසුගිය සමයේ යළිත් ක්‍රියාත්මක වෙන්න ගත්තා. දිගින් දිගටම පාඩු ලබපු රාජ්‍ය සමාගම් අළු ගසා දමලා නැගිටිනකොට ඒවාට ඒ සාර්ථකත්වය ලබා දුන්නු සභාපතිවරුන්ව ඉවත්කරලා දේශපාලන චරිත ඒ පුටුවල වාඩි කළා. තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවේ සොහොන් ලකුණු මතුවෙන්න ගත්තෙ මෙතැනින් නොවෙයිද?

ඇතැම් ආයතන සාර්ථකත්වයේ හිනි පෙත්ත කරා ළඟා වෙද්දී එහි සභාපතිවරු නිලධාරීවරුන් යම්කිසි බලවේග මඟින් ඉවත් කරන ආකාරය අපි ඉතිහාසයේ පටන්ම අත්විඳලා තියෙනවා. ඒ වෙනස්වීම් සිදු වන්නේ දේශපාලන බලපෑම් මතම නෙමෙයි. නමුත් අවසානයේ ඒ චෝදනාව එල්ල වෙන්නේ දේශපාලනඥයන්ට.

ඇතැම් විට ඒ ආයතනයේ පැවැත්ම සහ එහි සාමාජිකයන් කිහිප දෙනෙක්ගේ පැවැත්ම මත හෝ බාහිර පාර්ශ්වයකගේ බලපෑම මත එවැනි ඉවත් කිරීම් සිදු වෙනවා වෙන්නත් පුළුවන්. ඒ සඳහා ඉතිහාසයෙන් ඕන තරම් සාක්ෂි ලබා ගන්න හැකියාව තියෙනවාද. වර්තමාන ජනාධිපතිවරයා සහ අලුත් අලුත් කැබිනට් මණ්ඩලයත් එවැනි දේවල් නැවතත් සිදු නොවෙන්න පූර්ණ වශයෙන් වග බලා ගත යුතුයි කියල මම යෝජනා කරනවා.

පසුගිය සමයේ සිදුවුණු සිදුවීම් මගින් රාජපක්ෂවරුගේ දේශපාලන ගමන නිමා වුණාද? එහෙම නැත්නම් ඔවුන්ගේ දේශපාලන අනාගතය මොනවගේ වෙයිද?

මගේ හෝ මගේ පියාගේ හෝ වේවා අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හෝ ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගේ හෝ වේවා, අපි සියලු දෙනාගේ දේශපාලන ගමන තීරණය වෙන්නේ ජනතාවගේ මනාපය මත. කැරැල්ලකට දේශපාලන අනාගතය තීරණය කරන්න මම නම් කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් අපි ජයග්‍රහණය කරවන්න හෝ පරාජය කරවන්න ජනතාවට අවස්ථාව තියෙනවා. අරගලයක් සංවිධානය වීම සම්බන්ධයෙන් පුද්ගලිකව මගේ කිසිම අප්‍රසාදයක් නැහැ. අරගලයෙන් ඉදිරිපත් වූ ඇතැම් යෝජනා, අදහස් ඉතාමත්ම වටිනවා. අරගලය පිළිබඳව ප්‍රශ්නයක් නැති වුණත් ඇතැම් අරගලකරුවන් සම්බන්ධයෙන් මට ගැටලුවක් තියෙනවා. අරගලකරුවන් හැමවෙලාවකම උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව කැරැල්ලකින් ආණ්ඩුව පෙරළන්න නම්, ඔහු උත්සාහ කරන්නේ ප්‍රචණ්ඩත්වය පතුරවන්න නම්, අරගලකරුවාගේ අදහස ජාතික රූපවාහිනියට හෝ රාජ්‍ය ආයතන වලට බලහත්කාරයෙන් කඩා වැදිලා ඒ රාජ්‍ය දේපළ තමන්ගේ අත්අඩංගුව ගන්න නම්, එවැනි අරගලකරුවන්ගේ ක්‍රියා කලාපයන් අපට කිසිසේත්ම අනුමත කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි සියලු දෙනාගේ දේශපාලන අනාගතය තීරණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පමණයි කියලා මම නැවතත් සිහිපත් කරනවා.

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ කියන්නේ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කරන්න පැමිණි සුරදූතයෙක් ද?

රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධයෙන් පැතිරෙන එවැනි කතාවලට මම කිසිසේත්ම එකඟ වෙන්නේ නෑ. මම පෙර කීවාක් මෙන්, ඕනෑම කෙනෙක්ගේ දේශපාලන අනාගතය තීන්දු කරන්න, ගොඩනඟන්න හෝ ආරක්ෂා කරන්න හැකියාව තියෙන්නේ මහජනතාවගේ ඡන්දයට මිස තනි පුද්ගලයෙක්ට නෙමෙයි. අපි ජනතාවගේ ඡන්දයෙන් පත් වූ පුද්ගලයන්. ඒ නිසා එක පුද්ගලයෙකුට හෝ දෙන්නෙක්ට යම්කිසි පුද්ගලයෙක් හෝ පවුලක් බේරගන්න හැකියාවක් තියෙනවා කියලා කියන්න බෑ. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව කතා කළොත්, එයට ඉදිරිපත් වූවන් අතරින් අපිට සමීපම, අපිට ඥාතීත්වයක් තියෙන පුද්ගලයා වෙන්නේ ඩලස් අලහප්පෙරුම මැතිතුමා. එතුමා මගේ පියා සමග දීර්ඝකාලීන දේශපාලන ඉතිහාසයක් තියෙන, එකම දේශපාලන කඳවුරේ නියෝජිතයෙක්. එහෙමනම් අපි යම්කිසි ඩීල් එකකට යනවා නම් ඒ දේ කරන්නේ ඩලස් අලහප්පෙරුම මැතිතුමා සමග මිස, මගේ පියා සමග අවුරුදු 55 ක දේශපාලන ජීවිතයේ විරුද්ධ මතවාදය දරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග නෙමෙයි. නමුත් මේ රටේ නීතිය සහ සාමය නැවත ස්ථාපිත කිරීම සඳහාත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතුයි කියලා අපි පක්ෂයක් විදිහට සහ පාර්ලිමේන්තුවේ අපේ පක්ෂයේ සාමාජිකයන් විදිහට තීරණයක් ගත්තා. ආර්ථික අර්බුදයට ඩලස් අලහප්පෙරුම හා රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයන් දෙදෙනාගෙන් සාර්ථකව මුහුණ දිය හැකි පුද්ගලයා විදිහට අපි හඳුනා ගත්තේත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව. ඒ අනුව ගත් සාමුහිත තීරණයක් මිසක්, පුද්ගලිකත්වය හිතලා ගත්තු තීරණ මෙතැන නෑ.

අනාගතයේදී ලංකාවේ දේශපාලනයේ හැඩතල කොහොම වෙනස් වෙයි ද? සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ඔබේ මතය?

මේ රටේ සහ පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය ඉතාමත්ම වැදගත් කාරණයක්. වත්මන් ජනාධිපතිවරයා නීතිය සහ සාමය ස්ථාපනය කිරීම සඳහා අවශ්‍යය වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා අපි දකිනවා. ඊළඟට අපේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගත යුතුව තියෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඉඩ ප්‍රස්ථාව ලබාදීම සඳහා අවශ්‍යය වටපිටාව සකස් කිරීමේ අරමුණින් තමයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස් වුණෙත්. ඒ නිසා අපි වත්මන් ජනාධිපතිවරයාගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේම පොදුජන පෙරමුණ විදිහට ඒ සඳහා අපේ දිස්ත්‍රික් නායකයන් හරහා පූර්ණ සහයෝගය ලබා දීමටත් අපි කටයුතු කරනවා.

ඉදිරියේදී බිහිවන එවැනි ආණ්ඩුවක ඔබට තනතුරක් වෙන්වෙයිද?

ඊළඟ ආණ්ඩුවේදී ලැබෙන තනතුරු පිළිබඳව පක්ෂයක් විදිහට සාකච්ඡා කරලා තීරණයක් ගත යුතුයි කියලා මම හිතනවා. පළවෙනි කාරණය, ආණ්ඩුවක් සකස් කිරීම සඳහා අවශ්‍යය මූලික සහයෝගය ලබාදිය යුතුව තියෙනවා. ආණ්ඩුවක් හදද්දි, රටේ සියලු දෙනාගේම අවශ්‍යතාවන් සපුරමින් ආණ්ඩුවක් සකස් කිරීම ලේසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. ඒ සඳහා ඔවුන් වෙනුවෙන් කැපකිරීම් කරන්න අපි පුරුදු විය යුතුයි. අපේ පක්ෂය විශාලම කැපකිරීම් ප්‍රමාණයක් කළ දේශපාලන පක්ෂයක්. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඉල්ලා අස්වුණා. අද පොදුජන පෙරමුණේ මතයට විරුද්ධව ගොස් ස්වාධීන වූ සියලු දෙනාම බලයට ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයට පිංසිද්ධ වෙන්න. ඒ වුණත් සදාකාලිකව අපි වටා මේ බලය ඒකරාශී විය යුතුයි කියලා හිතලා අපි වැඩ කරලා නැහැ. දේශපාලන කැපකිරීම් කරන්න අපිට හොඳහැටි හැකියාව තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ කැප කිරීම කරලා තියෙනවා. මමත් ශක්තිමත් ආණ්ඩුවක් සකස් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරන්න මේ අවස්ථාවේ සූදානම්. ඒ සම්බන්ධයෙන් පක්ෂයක් විදිහට සාකච්ඡා කරලා අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා.

පහුගිය සමයේ රාජපක්ෂ පවුලේ සමගිය බිඳ වැටුණා කියන කථාව ගැන අවංකවම යමක් කිව්වොත්..

පවුලක් විදිහට අපි අතර සමගිය සම්බන්ධයෙන් කිසිම තැනක ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. නමුත් දේශපාලනික වශයෙන් ප්‍රතිපත්තිමය ගැටලුවක් අපි අතර තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂත් සමග සහ අපි අතර යම්කිසි ප්‍රතිපත්තිමය වෙනස්කම් කිහිපයක්ම තිබුණා. සමහරවිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ප්‍රතිපත්තිමය වෙනස හදාගන්න ඇත්තෙත් නව පරපුරේ ඉල්ලීමකට වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කාබනික පොහොර සම්බන්ධ කාරණයට කොළඹ සහ ලිබරල් සමාජය තුළ විශාල ඉල්ලීමක් තියෙනවා. නමුත් ග්‍රාමීය වශයෙන් කාබනික පොහොර සම්බන්ධ පරිවර්තනය කඩිනමින් සිදුවිය යුතු නැහැ කියන අදහසේ තමයි මමත් මහින්ද රාජපක්ෂ සහ බැසිල් කියන අපි සියලු දෙනාම හිටියේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කාබනික පොහොර සංකල්පය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි කියන මතයේ හිටියා. එවැනි මතවාදී වෙනස්කම් කිහිපයක් අපි අතර තිබුණත් පවුල තුළ අසමගියක් තිබුණේ නැහැ.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් හැටියට අත්දැකීම් තිබුණු ඔබ ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත්වෙනවිට මෙරට ක්‍රීඩා ලෝලීන් ඔබ ගැන සෑහෙන බලාපොරොත්තුවක් තබාගත්තා. එයට සාධාරණයක් කරන්න ඔබට පුළුවන් වුණාය කියල හිතෙනවද?

ඒ කෙටි කාලසීමාව තුළ අපි ක්‍රීඩාව තුළ බොහෝ වෙනස්කම් කරලා තියෙනවා. ඒ පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් එහි පරිපාලන ව්‍යුහයට අපි වෘත්තීමය භාවයක් එකතු කළා. එමෙන්ම නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නත් අපිට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵල අද සියලු දෙනාම භුක්ති විඳිනවා. මලල ක්‍රීඩාව අංශය ගත්තොත් අපේ දරුවෝ ජාත්‍යන්තර වාර්තාවලට යනවා අපි දකිනවා. ඒ වගේම ක්‍රීඩා හා අනෙකුත් තරුණ ක්ෂේත්‍රය තුළ අපි දුටු නායකත්වය, ව්‍යවසායකත්වය වැනි කාරණා ඉතාමත් සාර්ථකව කරගන්න අපට අවස්ථාව ලැබුණා. නමුත් අවාසනාවකට වසර එකහමාරක් වැනි කාලයක් පමණයි මට ඒ ධුරයේ කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. ඒ කාලසීමාව තුළ ක්‍රීඩාව හා තරුණ ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් කරන්නත්, ඩිජිටල් ක්ෂේත්‍රය තුළ වෙනස්කම් රාශියක් කරන්නත් අපිට හැකියාව ලැබුණා. ඉදිරියට එන අමාත්‍යවරයාත් ක්‍රීඩාව, තාරුණ්‍ය හා ඩිජිටල්කරණය සම්බන්ධයෙන් හොඳ තීරණ ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සංවාදය – ඉන්ද්‍රජිත් සුබසිංහ
(අරුණ පුවත්පත)