නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමිවියයුතු තැන ගැන දෙමළ සන්ධාන මන්ත්‍රී කියන කතාව

4
20796

ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තුවන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේන් බුදු දහමට හිමිවිය යුතු තැන සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් තම අදහස පාර්ලිමේන්තුවේදී පසුගියදා මෙසේ ප්‍ර‍කාශකොට තිබෙනවා.

“බුද්ධාගම සම්බන්ධයෙන් වුණත්, අපි කියන දේවල් වැරදි විදිහට රටට ඉදිරිපත් නොකිරීමට කෙනෙක්‌ පරිස්‌සම් වෙන්න ඕනේ. අපි බුද්ධාගමට ගරු කරනවා. අපි හිතනවා, මේ රටේ බහුතරයක්‌ වන බෞද්ධ ජනතාවට මේ රටේ නිසි ස්‌ථානය තියෙන්න ඕනේ කියලා. ඒකට අපි විරුද්ධ නැහැ. දැන් අපි අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කර ගන්න යන වෙලාවේ, බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීම පිළිබඳ කාරණය නැවතත් ඉස්‌මත්තට ඇවිල්ලා තියෙනවා. මෙහිදී හුඟාක්‌ පරිස්‌සම් වෙන්න ඕනේ. ඔබ කරන්නේ, වුවමනාවෙන්ම රටේ ප්‍රශ්නයක්‌ ඇති කරන්නයි. අවුලක්‌ ඇති කරන්නයි. තමන් කියන කරන දේවල් ගැන කෙනෙක්‌ පරිස්‌සම් වෙන්න ඕනේ. අපි උත්සාහ කරන්නේ ඒකට. ඒකයි අපි එක දිගටම කියන්නේ, බුද්ධාගමට යම් කිසි වැදගත් ස්‌ථානයක්‌, ප්‍රමුඛ ස්‌ථානයක්‌ දෙනවට අපේ විරුද්ධත්වයක්‌ නැහැ කියලා. මං නියෝජනය කරන පළාතේ බොහොමයක්‌ දෙනා නෙවෙයි, සියල්ලන්ම පවා බෞද්ධයන් නොවන තත්ත්වයක්‌ තුළත්, මං ලෑස්‌තියි ඒ කතාව කෙළින්ම කියන්න. අපි ඒක දිගටම කරනවා. නීතිය ඉදිරියේ සියල්ලන් සමානයි කියන එකත්, ප්‍රතිපත්තියක්‌. මං හිතන්නේ අපි ඔක්‌කොම ඒකට එකඟයි. යමකට විශේෂ ස්‌ථානයක්‌ පිරිනැමීම කියන එකෙන් අදහස්‌ වෙන්නේ නැහැ, අදහස්‌ විය යුතුත් නැහැ, අනිත් අය දෙවැනි තැනට පත්වෙන්න ඕනේ කියලා. මේ රටේ ජීවත් වන හැම පුරවැසියෙක්‌ම එක සමානයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ, පැහැදිලිව ලියා තියෙන්න ඕනේ. ඒක කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ එක්‌කම, බහුතර ජනතාව තුළ බියක්‌ තියෙනවා නං ඒක පහ කරන්න අපි බලනවා. ඒ වගේම, සංඛ්‍යාත්මකව සුළුතරයක්‌ වෙන වෙනත් ජන කොටස්‌වලටත් සහතිකයක්‌ තියෙන්න ඕනේ, ගණනින් පුංචි වුණත් ඒගොල්ලන්ටත් තැනක්‌ තියෙනවා කියන එක ගැන. ඒගොල්ලෝ දෙවැනි පංතියේ පුරවැසියන් නොවෙනවා කියන එක ගැන. ඒකත් සහතික වෙන්න ඕනේ.

ඒක නිසා, අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරගන්න අපි පටන් අරං තියෙන මේ දුෂ්කර ගමනේදී, අපි එකට වැඩ කරන්න ඕනේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්‌ෂයක්‌ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව තුළත් නියෝජනය වීම සහ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව තුළ නියෝජනය වීම යහපත් දෙයක්‌. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්‌. මෙහෙයුම් කමිටුව 40 වතාවකට වඩා. මං හිතන්නේ 46 වතාවක්‌ විතර, රැස්‌වෙලා මේ කරුණු සාකච්ඡා කරලා තියෙනවා කියන එකෙන් අදහස්‌ වෙන්නේ, ඉතා සාධනීය ලක්‌ෂණයක්‌. ඒක නිසා, තව ඉදිරියට යද්දී මේ අවස්‌ථාව නැති කර නොගන්න පරිස්‌සම් වෙන්න ඕනේ.

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගැන කතා කරද්දී නොයෙක්‌ දෙනා ‘ජනමත විචාරණයක්‌’ ගැන බය වෙලා කියලා මට පේනවා. දැන් අපි මේක පැහැදිලිව කියලා තියෙනවා. මගේ නායකයා මේ සභාවෙදීත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවෙදීත් කියලා තියෙන දේ මං නැවතත් මතක්‌ කර දෙන්න ඕනේ. ඔහු මෙහෙම කිව්වා.

“මේ රටේ සියලුම ජනතාව අනුමත කරන අලුත් ව්‍යවස්‌ථාවක්‌ අපිට ඕනේ. ඒකට අනිවාර්යයෙන් ඇතුළත් වෙන්න ඕනේ මේ රටේ ජීවත් වෙන බහුතර ජනතාව. රටක ව්‍යවස්‌ථාවක්‌ පවතින්න පුළුවන් කමක්‌ නැහැ ඒක රටේ බහුතර ජනතාව බාරගන්නේ නැත්නම්”. ඒක නිසා අපි කරන්න හදන්නේ, මේ රටේ බහුතරයක්‌ ජනතාවට අවශ්‍ය නැති දෙයක්‌ නෙවෙයි. ඒත් ඒ එක්‌කලාම අපේ විශ්වාසයක්‌ තියෙනවා මේ රටේ ජීවත් වන බහුතර ජනතාවත් සාධාරණ ජනතාවක්‌ කියලා. සමානාත්මතාව කියන මූලික මිනිස්‌ සාරධර්මයට ගරු කරන ජනතාවක්‌ කියලා. සමානාත්මතාව මත පදනම් වෙච්ච පුරවැසිභාවයට ගරු කරන ජනතාවක්‌ කියලා. අන්න ඒ පණිවුඩය මේ රටේ බහුතර ජනතාව අතරට ගෙන යා යුතුයි. ඒත් බහුතර ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම පණිවුඩය බහුතර ජනතාව අතරට ගෙන ගොස්‌ අපි කළ යුතුව තියෙන හරි දේ මේකයි කියලා ඒ ජනතාවට කියන්න බය වෙන එක ගැන මට තියෙන්නේ කනගාටුවක්‌. ඉච්ඡාභංගත්වයක්‌. මේකට බය වෙලා, එක දිගටම කියමින් හිටියොත්, ‘ජනමත විචාරණයකට ගියොත් අපි පරදිනවා’ කියලා, අපි ඒ ජනමත විචාරණය පරදින්නේ දූෂණය නිසාම මිසක්‌ වෙන කිසි දෙයක්‌ නිසා නෙවෙයි. අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අඩංගු කිසි දෙයක්‌ නිසා නෙවෙයි. ඒක නිසා මුලින්ම තමන්ගේ කඳවුර හරිගස්‌ස ගන්න. දූෂණය පිළිබඳ තියෙන අදහස්‌ ගැන සැලකිලිමත් වෙන්න. විනිවිද පෙනෙන විදිහට වැඩ කරන්න. ජනතාව ඉදිරියට යන්න. ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක. කරුණාකරලා ජනතාවට කියන්න, මේ රටේ ජීවත් වන සංඛ්‍යාත්මක සුළු ජාතීනුත් හිතනවා නං මේක අපේ රට කියලා, අපි තවදුරටත් දෙවැනි පන්තියේ පුරවැසියෝ නෙවෙයි කියලා, අපිටත් මේ රට ගැන සමාන කැක්‌කුමක්‌ තියෙනවා කියලා, ඒ සියලු ජනතාව සමඟ ඉදිරියට ගමන් කිරීම තමයි නිවැරදි දේ කියලා ජනතාවට කියලා දෙන්න. රටේ එක්‌සත්භාවය ඇති කර ගන්න ඒක අත්‍යාවශ්‍යයි.

ඉතිං, මේ කතාව අවසන් කරමින් මට කියන්න තියෙන්නේ මේකයි. අපේ ඉදිරි ගමනේදී, මූලික සමාජ ගිවිසුම වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අලුතෙන් හදාගෙන සමෘද්ධිමත් සහ නව යුගයක්‌ 2017 දී අපි දකිමු.“

(උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)

4 COMMENTS

  1. Your strategy is looked good! But it should be clear to all with your activities also. Vigneshwaran’s behaviour & talks helped to Sinhalese anger with Tamils.

      • අදහස පැහැදිලි නම් ඉංග්‍රීසි පොඩ්ඩක් එහේ මෙහෙ වුනාම මොකද? ලාංකික ගතිය තමයි අනුන්ගේ ඉංග්‍රීසි පොඩ්ඩක් වැරදුනාම හිනා වෙන එක , පාච්චල් කරන ඒක. අපිටත් ඉගෙන ගන්න එක්ක හරි යෙදුම දක්වන ඒක නේද මහත්මා ගතිය.

  2. Demala ho Hindu nathinam muslim sansanskruthiya bhukthi windeemata awashyanam eewa thiyena ratwal oonatharam thiyenawa,Sinhala bauddha sanskruthiya thiyenne me rate witharai,eeta erehi weema saha eya nathi kireemata uthsaha dareema nisa thamai me gatalu wala mula

LEAVE A REPLY