රත්තරං හොරකමේ යන හිරිකිත ඇමති…

0
22663

මහපොලොව විසින් මිනිසාට ප්‍රදානය කරන ලෝහයන් අතරින් රත්‍රංවලට හිමිවන්නේ ඉස්‌තරම් වටිනාකමක්‌ය. ලෝ ප්‍රකට වෙළෙඳාමක්‌ සේ සලකන රත්‍රං ජාවාරමක්‌ බවට පත්කර ගත් විට හත්මුතු පරම්පරාවකට ගොඩ යා හැකි බව දන්නා ලෝ පුරා විසිරී සිටින රන් ජාවාරම්කරුවන් එය තම තමන්ගේ මඩිය තරකර ගැනීම පිණිස දිගින් දිගටම සිදුකරගෙන යනු ලබන අතර මේ වන විට රන් ජාවාරම යනු ජාත්‍යන්තර වශයෙන් නිතර සිද්ධවන්නක්‌ය. ඒ පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව ද නිතර නිතර පුවත් වාර්තා වන බැවින් රටවැසියන් ලෙස අපට දැන් එය සාමාන්‍ය දෙයක්‌ය.

මේ සටහන වෙන් වන්නේ එවැනි තවත් එක්‌ රන් ජාවාරමක්‌ පිළිබඳ තොරතුරු හෙළිකිරීමට නොව ඊටත් එහා ගිය කැත හිරිකිත රන් සම්බන්ධ වෙනත් ගනුදෙනුවක්‌ පැවසීම පිණිසය. මෙම සිද්ධිය සඳහා එක්‌ පාර්ශවයකින් දේශපාලනය ගෑවී ඇත. එසේ වීමට ආසන්න හේතුව වන්නේ හෙළිකිරීමට යන මේ ජාවාරම පිටුපස රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සම්බන්ධයක්‌ තිබීමය. මෙරට දේශපාලනයට අදාළව “රත්තරන්” කියූ සැනින් බොහෝ දෙනකුගේ සිහියට නැගෙන්නේ පසුගිය රජය සමයේ හිටපු කැබිනට්‌ ඇමැතිවරයකු පිළිබඳ මතකයක්‌ය. හිටපු අමාත්‍යවරයා සම්බන්ධ නොයකුත් දූෂණ අක්‍රමිකතා එකල පැවති අතර මේ වන විටත් ඔහු විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ ලෙස වර්තමාන රජයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ ප්‍රබල හඬක්‌ නගන්නේය.

මේ කියන්නට යන්නේ ඔහු පිළිබඳව නොවන බව පළමුව ලියා තැබිය යුතුය.

ජාතිය සතු මහා සම්පතක්‌ ලෙස සලකනු ලබන විල්පත්තුව අභය භූමිය කපා විනාශ කොට එය කාන්තාරයක්‌ බවට පත් කිරීමේ ජාති ජාතීත් විපාක දෙන අකුසලයකට කරගසා ඇති මේ කියන ඇමැතිවරයා ඉන් නොනැවතී උතුරු නැගෙනහිර ඉලක්‌ක කර ගනිමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක්‌ මගින් අයථා ලෙස ධනය ඉපයීමේ අමතර ව්‍යාපෘතියක්‌ ද ක්‍රියාත්මක කර ඇත්තේය. ඔහු පිළිබඳ නිතර පුවත් මැවෙන්නට යන්නේ ‘යහපාලනය’ උදාවී පෝය දෙක තුනක්‌ ගෙවී යන්නටත් මත්තෙන්ය. මුස්‌ලිම් වර්ගවාදය පැතිරීම තුළින් තම දේශපාලන ඉදිරි මග නිරවුල් කර ගැනීමේ කෑදර සිතුවිල්ල මේ කියන්නට යන ඇමැතිවරයාගේ සිහින අතර පවතින තවත් එක්‌ දේශපාලන ව්‍යාපෘතියක්‌ වී ඇත. චතුර ලෙස සිංහල භාෂාව කතා කරමින් ඔහු විසින් දිගින් දිගටම වර්ගවාදය ව්‍යාප්ත කරන අතර ඇමැතිවරයා සහ ඔහුගේ සොහොයුරකු සම්බන්ධ රත්තරන් කතාව කරළියට එන්නේ ඉහත සඳහන් සිදුවීම් සිද්ධ වී ටික කලක්‌ ගතවීමත් සමගින්ය. පොලිස්‌ බුද්ධි අංශ විසින් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව කතාව පෙළගැසෙන්නේ මේ ආකාරයෙන්ය.

විල්පත්තුව විනාශ කිරීමට අමතරව උතුරු නැගෙනහිර මහා පරිමාණ ඉඩම් කොල්ලය මගින් ආදායම් වාර්තා තබා ඇති ඇමැතිවරයාගේ සිත කලක්‌ ගත වන විට තේරුම්ගත් තවත් කරුණක්‌ වී ඇත්තේ ගස්‌කොලන් කපා විකිණීම වැනි අසීරු වෙහෙසකර ජාවාරම්වලට අමතර තවත් බොහෝ ජාවාරම් පවතින බවත් තමන් සතු ඇමැති ධුරය යොදා ගනිමින් තවදුරටත් එවැනි දැ සිදු කිරීමට ඉස්‌තරම් අවස්‌ථා ඕනෑතරම් ඇති බවත්ය.

ලංකාව ජාත්‍යන්තර රන් ජාවාරමේ තිප්පොලක්‌ බවට පත් වී ඇති බව වටහා ගන්නා ඇමැති ඇස රත්තරන් වෙත යොමුවී ඇත්තේ ඉන් අනතුරුවය. නිත්‍යානුකූල අයුරින් ස්‌වර්ණාභරණ අලෙවි සලක්‌ ආරම්භ කිරීම ඇමැතිවරයකුට ‘මහ කඡ්ජක්‌’ නොවන බව රටම දන්නා කරුණක්‌ය. එහෙත් ලැඡ්ජා නැතිකම ඇමැතිකමටත් වඩා ලොකුවට සලකනු ලබන මේ කියන ඇමැතිවරයා රත්තරන් ගනුදෙනුව ආරම්භ කර ඇත්තේ ජාවාරමක ස්‌වරූපයෙන්ය. මෙරට සිට ඉන්දියාවට නිත්‍යානුකූල නොවන අයුරින් රත්තරන් පිටකිරීම අරඹන ඇමැතිවරයා ඒ සඳහා තම විශ්වාසවන්ත සගයා ලෙස තෝරාගනු ලබන්නේ තමන්ගේම සොහොයුරෙක්‌ය. ඊට අමතර පිටකොටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ රජයෙන් වැටුප් ලබාගන්නා ගුවන් හමුදාවේ උසස්‌ නිලධාරියෙක්‌ කටුනායක ගුවන්තොටුපළ කාර්යමණ්‌ඩලයේ කීපදෙනෙක්‌ පාර්ශවකරුවන් ලෙස මේ කියන ගනුදෙනුව පිටුපස සිටින අතර ජාවාරම ජයට සිද්ධ වෙන්නට ගන්නේ සියල්ලන්ගේම මහන්සියේ ප්‍රතිඵලයක්‌ ලෙසින්ය. මෙවැනි නීති විරෝධී ගනුදෙනුවක්‌ දිගින් දිගටම සාර්ථකව සිදුකිරීම පිණිස එයට උචිත පරිසරයක්‌ පැවතිය යුතුය. අමාත්‍යවරයා සතු ඇමැති බලතල ප්‍රයෝජනවත් වී ඇත්තේ එතැනදීය. කොළඹ සිට රන්තොග පිටින් කටුනායක ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කිරීම පිණිස අමාත්‍යංශ වාහන යොදා ගැනීමත් එසේ ගෙන එනු ලබන රන් තොගය මෙම ජාවාරමට සම්බන්ධ ගුවන්තොටුපළ නිලධාරීනගේ පූර්ණ ආරක්‍ෂාව අවසරය යටතේ ඉන්දියාව බලා යන තවත් පුද්ගලයන් අතට පත් කිරීමත් සිදුකොට ඇත්තේ ඇමැති අනුහස්‌ මාර්ගයෙන්ය. මේ වන විට රටට මහ බරක්‌ වී ඇති ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීම පිණිස අති විශාල ධනස්‌කන්ධයක්‌ මාස්‌ පතා වැය කරන රටක ඊට අමතරව ඇමැති බලතල යටතේ තවත් සුවිශේෂී වරප්‍රසාද රාශියක්‌ ඇති බැවින් රන් ජාවාරමේ යෙදෙන අපේ අමාත්‍යවරයා ජාවාරම ‘සැරට’ කරගෙන යන්නේ ඇමැති රැස්‌ වළල්ලට නීතියේ ඇස්‌ පවා අන්දමන්ද කරවමිනි.

ඇමැතිවරයා සහ ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කල්ලිය මීට පෙරත් මෙරට සිට ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් රන් ජාවාරමේ නිරතව ඇති අතර වරක්‌ නාවික හමුදාව මගින් එසේ රටින් පැන්නීමට තැත් කෙරූ කිලෝ 50 ක බරින් යුත් වර්තමාන රන් මිලට අනුව රුපියල් කෝටි විසිඅටක අගයකින් යුත් රන් තොගයක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා සහ පිටකොටුව කෝටිපති ව්‍යාපාරිකයාට සිදුවූ පාඩුව පිරිමසාගෙන ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයා සතු පිටකොටුව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ගොඩනැඟිල්ලක්‌ විකුණා දැමීමෙනි. රජයේ බුද්ධි අංශ විසින් මේ තොරතුරු තහවුරු කරගෙන ඇති අතර මේ වන විටත් කටුනායක ගුවන්තොටුපොල කේන්ද්‍ර කොටගෙන ඇමැති සහ ඇමැති සොහොයුරු ඇතුළු අනෙක්‌ පිරිස රන් ජාවරම මෙහෙයවමින් ඇත්තේ පරණ ඇරියස්‌ කවර් කර ගැනීමේ මුදල් හදිස්‌සියෙනි. කොළඹ පිකොටුවේ ව්‍යාපාරිකයන්ගෙන් යෑපෙන ඇමැතිවරු තවමත් සිටින බව මේ කියන ඇමැතිවරයා සාක්‌ෂි සහිතව ඔප්පු කරන අතර එවැන්නන් සමඟ එක්‌ව ජාවාරමේ වල පවා යෙදෙන්නේ යහපාලනය රෙද්ද පල්ලෙන් පෙරා ගනිමිනි. මේ කියන අමාත්‍යවරයා ඇමැති නාමය ඉදිරියේ දිගින් දිගටම දූෂණ අක්‍රමිකතා, වංචා, විරෝධී ක්‍රියා ආදිය නිතර ලියවෙන අතර රට්‌ටු පුදුමයට පත්ව ඇත්තේ එවැනි දේ පිළිබඳ ඉහළ දේශපාලන බලඅධිකාරිය තව දුරටත් ඇස්‌ කන් පියාගෙන සිටීම හේතුවෙනි. යහපාලන ආණ්‌ඩුවක්‌ තුළින් කිසිසේත් අපේක්‍ෂා නොකළ මෙවැනි ඇමැතිවරුන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් ශිෂ්ට මිනිසුන් පසුවන්නේ කනගාටුවෙනි. වසර කීපයකට වරක්‌ එළැඹෙන මහ මැතිවරණ, ජනාධිපතිවරණ පළාත් පාලන මැතිවරණ තුළින් රටේ ජනතාව මහජන නියෝජිතයන් පත්කර ගනු ලබන්නේ රට ඉදිරියට රැගෙන යැමට මිස මැති ඇමැතිවරු පිස්‌සු කෙළිනා හැටි නැරඹීමට නොවන බැවින් මෙවැනි ඇමැතිවරු පිළිබඳ රටේම ජනතාව පසුවන්නේ අසතුටෙනි. රටට බරපතළ ආර්ථික අවාසි රැසක්‌ ඇතිකරමින් සහ එවැනි දැ සිදුකිරීම පිණිස රජයේ පොදු දේපල පවා යොදා ගනිමින් මේ කියනු ලැබූ ඇමැතිවරයා විසින් දිගින් දිගටම සිදුකරමින් ඇත්තේ රට පැත්තෙන් ගත් කල බරපතළ වරදකි. මෙවැනි අජූත ඇමැතිවරු විසින් කරනු ලබන ජුගුප්සාජනක ක්‍රියා හේතුවෙන් රට වැසියන් වන අපට කෙසේ වෙතත් නරක නාමයෙන් වැඩි කොටසක්‌ හිමිවන්නේ යහපාලන ආණ්‌ඩුවටය. පැවැති රජයන් විසින් කරන ලදැයි පැවසෙන දූෂණය වංචාව පිටුදැකීමේ අරමුණින් පත්කර ගත් ‘යහපාලනය’ට හරියටම වසර දෙකක්‌ ගත වන්නේ අදටය. යහපාලනයක්‌ පිළිබඳ අසීමිත බලාපොරොත්තුන් සහිතව පිහිටවා ගත් පාලනයට යන්තම් වසර දෙකක්‌ ගත වන තැන මෙවැනි කුජීත ඇමැතිවරු පිස්‌සු කෙළින්නට පටන්ගත් විට රටේ ජනතාවගේ සිත් තුළ නිතැතින් පැන නගින ගැටලුවක්‌ වන්නේ රටේ හෙට දවස කොයි අත යාදැයි යනුවෙන්ය.

එය රජයේ ප්‍රතිරූපයට කොහෙත්ම සුදුසු නැති බව බොහෝ දෙනකුගේ වැටහීම වී ඇත. මීට පෙරත් රට සතු ජාතික සම්පත් ජාතික ධනය සමඟ පිස්‌සු කෙළිය මැති ඇමැතිවරු ඉතිහාසයේ කුණු කූඩයට වැටුණ අයුරු කාට අමතක වුවත් රට වැසියන්ට අමතක වී නැත.

ඇතැම් ඇමැතිවරු විශේෂයෙන් ඉහත සඳහන් ජාවාරම් කීපයක්‌ එකවර කරන ඇමැතිවරයා වැනි අය ජාතික කැක්‌කුම පෙරට දමා කරනු ලබන එවැනි වැරදි සඳහා දිගින් දිගටම සමාව ලබා දීමට රටවැසියන් නිවටයන් නොවන මොහොතක වැරදිකාර ඇමැතිවරු පමණක්‌ නොව ඔවුන් නියෝජනය කරන ආණ්‌ඩුපිටින් ගෙදර යෑවූ අවස්‌ථා අපේ දේශපාලන ඉතිහාසයේ ඇති බැවින් මහත්වරුනි! රට සමඟ පිස්‌සු කෙළීමෙන් වලකින්න.

හේමන්ත රන්දුනු, රුවන් ජයවර්ධන

(උපුටාගැනීම දිවියින පුවත්පතෙනි)

Comments

comments