Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

පොලිසියට බෝම්බ ගසා පැන්නයි කී පාතාලේ අර්ජුන්ගේ කතාව නොපිට පෙරළේ

1645Views

 

 
 

 

 

 

අතුරුගිරිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ගැසූ ‘‘අර්ජුන්’’ නමැති පාතාල කල්ලි සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ පලාගිය පුවත ඔබට මතක ඇති.

මෙම ‘‘අර්ජුන්’’ නැමැත්තා එලෙස පලාගිය බව සඳහන් වූයේ පසුගිය දෙවන දිනයි.

මෙම පාතාලේ අර්ජුන් බව සඳහන් කළ පුද්ගලයා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවයි මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

එම පුද්ගලයා පාතාලයේ බවට සහ පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට වන තොරතුරු අසත්‍ය බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

අතුරුගිරිය පොලීසිය විසින් තොරතුරු ගොතා ඉදිරිපත් කර ඇති අතර  ඒ පිළිබද විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කොට ඇති බවයි කිර්ති තෙන්නකෝන් පවසන්නේ.

මෙම තරුණයා ගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් බෝම්බ ප්‍රහාරයක් හා ඒ සම්බන්ධ කථාවක් ගොඩ නගා ඇති බවයි එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ තොරතුරු පහතින් දැක්වෙනවා.

 

අර්ජුන් ගේ කථාව ‘අතුරුගිරියේ පොලිස් පාතලයේ‘ වැඩක්

ප්‍රේම සම්බන්ධයක් මත පුද්ගලික පළිගැනීමක් – බෝම්බ කථාව පට්ටපල් බොරුවක්.

අතුරුගිරියේ පොලීසිය විසින් අර්ජුන් ගමගේ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට යාම හා එහි දී ඇති වූ වෙඩි තැබීම පිළිබද ජනමාධ්‍යය වෙත ඉදිරිපත් කොට ඇති තොරුතුරු බහුතරයක් සත්‍යයන් තොර බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අතුරුගිය පොලීසිය කරුණු වාර්තා කොට ඇති අන්දමට සහ ජනමාධ්‍ය වෙත ලබා දී ඇති තොරතුරු අනුව ද අර්ජුන් නැමැත්තා අත්අඩංගුව ගැනීමට යාමේ දී පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර ඇත. එහි දී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කොට ඇත. අතුරුගිරිය පොලීසියට ජනමාධ්‍ය වෙත ලබා දී ඇති තොරතුරු අනුව මොහු පාතාල සාමාජිකයෙකි. වරෙන්තුකරුවෙකි. සැගවී සිටින පුද්ගලයෙකි.

නමුත් මෙම කතාවේ පතාලයට සම්බන්ධ බව, අත්බෝම්බ ප්‍රහාරය ඇතුළු කරුණු අතිශයින් සාවද්‍ය වේ. අතුරුගිරිය පොලීසිය විසින් තොරතුරු ගොතා ඉදිරිපත් කරන බවත් ඒ පිළිබද විමර්ශනයක් සිදු කරන ලෙසත් අප ගේ සංවිධාන උසස් පොලිස් නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කොට ඇත. නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් ද මේ පිළිබද තොරුතුරු උසස් පොලිස් නිලධාරීන් වෙත මෙවැනිම කරුණු දැක්වීමක් සිදු කොට ඇත.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව, වසය අවුරුදු 21 ක් වන මෙම තරුණයා කුඩා කළ (අවු 13-14 දී) ‘පරිවාස නිවාස‘ ගත කොට සිටි නමුත් ඉන් පසුව සාමාන්‍ය ජීවිතයක් ගත කොට ඇත. මෙම තරුණයා ගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් බෝම්බ ප්‍රහාරයක් හා සම්බන්ධ කථාව ගොඩ නගා ඇත.

මේ වන විට වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අර්ජන් ගමගේ තුවාල සදහා ප්‍රතිකාර ලබයි.

මේ පිළිබද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් වෙත පැමිණිලි කිරීමෙන් මේ වන විට විධිමත් විමර්ශනයක් මිරිහාන පොලීස් ඒකකය විසින් සිදු කරනු ලබයි. අද පෙරවරුවේ නීතිඥ අජිත් ප්‍රසන්න (0773373418) අතුළු කණ්ඩායමක් එයට සහභාගි විය. කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලට අදාළ සිදුවීමට විමර්ශනය සදහා ක්ෂණිකව මැදිහත්වීම පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් සහ කැෆේ සංවිධානය මේ පිළිබද අපගේ ස්තුතිය පොලිස් දෙපාර්තමේන්තුව වෙත පල කරයි.

පොලිස් සේවයේ බලය අයථා පරිහරණයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉහළ නිලධාරීන් දක්වන මැදිහත්වීම ලංකා පොලිස් සේවය ප්‍රතිසංස්කරණය කිරීමට පිටුවහලක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
2016 ඔක්තෝබර් මස 08 වැනිදා සෙනසුරාදා

11 22 33