Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඩෙංගුද..? රෝහල්ගතවීමෙන් “අහිංසක ඩෙංගු මාරාන්තික“ වියහැක! (පාඨකයාගේ ලිපිය)

2685Views

 

 
 

 

 

ඩෙන්ගු උණ මේ දවස් වල වේගයෙන් පැතිරිලා යනවා සමාජයේ බොහෝ දෙනා මේ ගැන බයවෙලා ඉන්න නිසාත් බොහෝ දෙනා මේ රෝගය ගැන හරියට නොදන්නා නිසාත් මේ ගැන පොඩි දැනුවත් කිරීමක් කිරීම කාලෝච්ත බැවින් ඒ ගැන මදක් අවදානය යොමුකරමු.

ඩෙන්ගු රෝග කාරක වෛරස් මාදිලි 4 ක් තියෙනවා. ඒවා සාමාන්‍ය වෙනත් රෝග කාරක වෛරස් වගේ අපේ සිරුරට ඇතුල් වු පසුව උණ ,සිරුරේ වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පහල වෙලා දින පහක් හයක් යන විට සුව වෙනවා.
මේ අයගේ රුධිරය පරික්ෂා කළාම රුධිර පට්ටිකා සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු අගයක ඇති බව පෙනෙනවා බොහෝ අය කලබල වෙන්නේ මේකට. නමුත් ඕනැම වෛරස් ආසාදනයකදි රුධිර පට්ටිකා මේ විදියට අඩුවෙනවා. ඒකට කලබල වෙන්න ඕනැ නැහැ.

මේ අයගේ රුධිරය පරික්ෂා කිරිමේදි ඩෙන්ගු ප්‍රතිදේහ ජනක (Dengu antigen) අඩංගු බව දකින්න ලැබෙනවා උණ හැදුන මුල් දිනේම වුනත් මේ පරික්ෂාව මගින් ඩෙන්ගු ආසාදනය හදුනාගැනිමට පුලුවන්. මේ වෛරසයට එරෙහිව සිරුර මගින් නිපදවන ප්‍රතිදේහ (Antibodies) උණ සැදි දවස් තුනක් ගතවුනාම රුධීරය පරික්ෂා කිරිමෙන් හඳුනාගත හැකි වෙනවා. මේ විදියට මුලින්ම හැදෙන ප්‍රතිදේහ ( IgM ) ලෙස හදුන්වනවා මේ ප්‍රතිදේහ සිරුරේ පවතින්නේ රෝග කාරකය ක්‍රියාකාරිව සිරුරේ පවතින විට පමණයි . මේ අතර මේ සදහා සෙමින් ,දිගුකාලිනව පවතින ප්‍රතිදේහ වර්ගයක් (IgG) ද සිරුර මගින් නිපදවෙනවා. මෙම ප්‍රතිදේහ මුලු ජිවිත කාලය පුරාවටම එම වර්ගයේ ඩෙන්ගු ආසාදනය වැලැක්ව්ම සදහා සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කරනවා. ඒ නිසා ඩෙන්ගු ප්‍රතිදේහ (IgG) රුධිරයේ අඩන්ගු වු පමණින් කලබල වී රෝහල් ගතව්ම අවශ්‍ය නැහැ.

නමුත් ඩෙන්ගු රක්තපාත උණ සහ ඩෙන්ගු කම්පන තත්වය මෙයට හාත්පසින් වෙනස් තත්වයක්. මෙහිදි සිදුවන්නේ ඩෙන්ගු වෛරසය රුධිර කේශනාලිකා වලට ඇතුලුවි එහි බිත්ති මත ක්‍රියාකාරිව, එම කේශනාලිකා බිත්තිවල පාරගම්ය්‍යතාව වෙනස් කොට රුධිරයේ ඇති ප්ලස්මා කොටස ඉන් එළියට ගලා යාමට සලස්වනවා. එවිට රුධිරයේ ඝනත්වය ඉහල යනවා.මේ නිසා හදවතේ ක්‍රියාකාරිත්වය අඩාල වෙනවා වකුගඩු, අක්මාව වගේ වැදගත් ඉන්ද්‍රියන් වලට හානි සිදුවෙනවා. එළියට වෑහෙන ප්ලස්මාව හදවත වටා ඇති කුහරයේ සහ පෙනහැල්ල තුල වගේම පිත්තාශය වටා එකතුවීම නිසා භයානක සහ මාරාන්තික සන්කුලතා ඇතිවෙනවා.

මෙහිදි රුධිරයෙන් ප්ලස්මාව එළියට එන්නේ පැය 48 ක කාලයක් පමණයි. මේ කාලය තුළ රෝගියාට රෝහලක දැඩි සත්කාර එකකයක් තුළ ප්‍රතිකාර කරන්න සිදුවෙනවා. රුධිරයේ ඝනත්වය වැඩිවෙන්න ආරම්භවී ඇති බව සම්පුර්ණ රුධිර පරික්ෂාවේදි ලබාදෙන ( PCV/ HCT ) අගය මගින් තීරණය කරන්න පුලුවන්. එහි අගය සාමානය්‍යයෙන් 45% ට වඩා අඩුයි. මේ අගය ඉහළ යනවිට රෝගියාට ජලය සහ සාමාන්‍ය සේලයින් ලබාදිම සුදුසු නැති වන්නේ එවා කේශනාලිකා තුලින් ඉවතට පැමිණ පෙර කී සන්කුලතා වැඩ් කරන බැවිනි. එවිට එම රෝගියාගේ රුධිර ඝනත්වය ඉහළ දැමීමට විශේෂිත වු සේලයින් වර්ග නියමිත ප්‍රමාණයකින් ශිරාගත කරනු ලබනවා. එසේම සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියන් වල ක්‍රියාකරිත්වයත් දැඩි සත්කාර ඒකකයන් තුළ නිරික්ෂනය කරනවා.

කෙසේ වෙතත් මෙම ඩෙන්ගු රක්තපාත උණ සහ කම්පන තත්වය ඇතිවන්නේ, මුලින් එක් ඩෙන්ගු වෛරසයක් සිරුරට ඇතුලු වී ඒ සදහා සිරුර තුළ ප්‍රතිදේහ සෑදී ඇති අයෙකු තුළට වෙනත් මාදිලියක ඩෙන්ගු වයිරසයක් ඇතුලු වු විටදීය එවිට සිරුරතුල ගබඩාවී ඇති මුල් ඩෙන්ගු වයිරස් මාදිලියට එරෙහි ප්‍රතිදේහ මගින් දෙවෙනි මාදිලියේ වයිරසය සිරුර තුළ වේගයෙන් පතුරුවා හරිනු ලබනවා. එම වේගයෙන් මෙම වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවන්න සිරුරට නොහැකි වන නිසා ඉහත සදහන් තත්වයන්ට රෝගියා ගොදුරු වනවා.

ඩෙන්ගු කී පමණින් බියවී රෝහල් ගතවීමෙන් සිදුවන්නේ, එක ඩෙන්ගු මාදිලියකින් රෝගිව ඇති රෝගින්ට රෝහල තුළ, ඩෙන්ගු මාදිලි 4න් ම ආසාදනය වු රෝගින් එකතුව ඇති නිසා , රෝහල තුල සිටින මදුරුවන් මගින් පහසුවෙන්ම දෙවෙනි මාදිලියේ වයිරසයක් ඇතුලුවී ඉහත කී භයානක තත්වයන් දක්වා රෝගය වර්ධනය වීමට ඇති සම්භාවිතව ශිග්‍රයෙන් ඉහළ යාමයි. එනම් මාරන්තික නොවන “අහින්සක ” ඩෙන්ගු තත්වයක් මාරාන්තික ඩෙන්ගු කම්පන තත්වයක් දක්වා වර්ධනය වීමයි රෝහල් තුල කර්ය මණ්ඩලයේ අය පවා මිය යන්නේ මේ හේතුව නිසයි.

මේ සදහා කළහැකි වන්නේ මහජනයා දැනුවත් කර රෝහල් ගත කිරිම, අත්ය්‍යවශ්‍ය අයට පමණක් සීමා කිරීමයි.(මදුරුවන් නැති රෝහල් සොයාගත නොහැකි නිසා) මෙහිදි දිනපතා රුධිර පරික්ෂන මගින් රුධිරයේ සුදු රුධිරානු ප්‍රමාණය, පට්ටිකා ප්‍රමාණය සහ රුධිරයේ ගණත්වයන් ( PCV / HCT ) නිරන්තරයෙන් පරික්ෂා කොට රුධිර වහනයක් හෝ කම්පන තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති අය පමණක් රෝහල් ගතකිරීම පලදායි වෙනවා.

ඩෙන්ගු රෝගය ගැන, උණ සෑදි පලමු දින 3 තුලදි නම් ඩෙන්ගු ප්‍රතිදේහ ජනක (Dengu Antigen) සහ ප්‍රතිදේහ (IgG antibody) පරික්ෂාව යන පරික්ෂන දෙකම කිරීම මගින් සහ උණ සෑදී දින 3 කට වැඩ් නම් ඩෙන්ගු ප්‍රතිදේහ (IgM + IgG antibodies )පමණක් පරික්ෂා කිරීමෙන් එම රෝගියාට මීට පෙර වෙනත් මාදිලියකින් ඩෙන්ගු ආසාදනය වී තිබේදැයි හදුනාගත හැකිවෙනවා. එමගින් අවදානම වැඩ් රෝගින් පමණක් රෝහල් ගතකිරීම මගින් ඩෙන්ගු වලින් සිදුවන මරන ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්.

රෝගය ගැන පහදා දි රොගියා තුළ සහ පවුලේ අය තුල ඇති බිය පහකිරීම වැදගත් වෙනවා. ඩෙන්ගු උණ සදහා විශේෂිත බේහෙතක් රෝහල් වල නැති බවත් ලබා දෙන්නේ පැරසිටමෝල් පමණක් බවත් බොහෝ දෙනා තාම දැනුවත් නැහැ.
ජලය වෙනුවට ජීවනි වැනි පානයන් ලබාදීමත් විවේකය ලබාදිමත් රෝගය ඉක්මනින් සුව වීමට හේතු වෙනවා.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

 

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න