වත්මන් ශ්‍රී ලංකාවේ රහතුන් වහන්සේ ඇතුළු මාර්ගඵල ලාභී සහ ධ්‍යානලාභී භික්ෂුන් වහන්සේ වැඩ සිටින්නේ ද යන්න මේ දිනවල පොදු සමාජ කතිකාවකට ලක්වන මාතෘකාවකි. එහෙත්, එවන් උත්තරීතර තත්ත්වයන්ට පත් වූ ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා විදේශයන් හි වැඩ වෙසෙන්නේ ද යන්න පිළිබඳව එවැනි කතිකාවක් ගොඩනැගී නැත. එවන් තත්ත්වයක් යටතේ ඉන්දියාවේ හිමාල අඩවියේ වැඩ වෙසෙන ධ්‍යානබල සහිත ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක පිළිබඳව විස්මිත තොරතුරක් අනාවරණය කර ගැනිමට ශ්‍රී ලාංකේය හිමි නමකට හැකිව තිබේ. ඒ ඇහැටුවැව දිවුල්ගනේ, පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමිපාණන් හටය. එබැවින් අපි උන්වහන්සේ අප හමුවේ කළ ප්‍රකාශය එලෙසින්ම මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.
“මම අපේ හිතවත් ස්වාමීන් වහන්සේලා තුන් නමකුත් එක්ක පහුගිය ජූලි මාසයේ ඉන්දුනීසියාවට වැඩම කළා. පහුගිය ජූලි නව වෙනිදා පිටත්වෙලා ජූලි දාහත් වෙනිදා තමයි නැවත අපේ රටට සේන්දු වුණේ. අපි ඒ ගමන ගියේ ප්‍රධාන අරමුණු දෙකක් ඇතිව. එකක් තමයි; ශ්‍රී ලාංකීය ආයෝජන ද සහිත ජාත්‍යන්තර සමාගමක ඉන්දුනීසියානු ශාඛාවේ සෙත් පිරිත් දේශනයක් පැවැත්වීම. ඒ අතරේ ඉන්දුනීසියාවේ ලෝක ප්‍රකට බොරෝබුදුර් බෞද්ධ සිද්ධස්ථානය වැඳපුදා ගැනීමත් අපේ අරමුණක් වුණා. ඒ හින්දා තමයි මේ ගමනට සතියක් ගතවුණේ. මේ ගමනේදී බොරෝ බුදුර්වලදී අපට මුණගැහුණා නේපාල ජාතිකයෙක්. ඔහුත් බොරෝ බුදුර් වැඳපුදා ගන්න ආපු බෞද්ධයෙක්. ඒ තැනැත්තා අපෙන් වගතුග අහලා අපි ශ්‍රී ලංකාවේ කිව්වම තමයි ඇහුවේ ‘දැන් ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා කලහාකාරීන්, අරගලකාරීන් විදිහට ජාත්‍යන්තර මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් යනවා ඒක රටට හොඳ නැහැ නේද?’ කියලා. එතකොට අපි කිව්වා ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගැන ජාත්‍යන්තර මාධ්‍යවලින් ප්‍රකාශ වෙන කරුණු අපි අහලා දැකලා නැහැ. ඒ හින්දා ඒ ගැන අදහසක් පළකරන්න බැහැ කියලා. ඒ එක්කම හැම සමාජ සංස්ථාවකම හොඳ - නරක කියන කොටස් දෙකම ඉන්න නිසා ඒක එච්චර පුදුමයකුත් නෙවෙයි කියලා අපි කිව්වා. එතකොට තමයි ඒ නේපාල ජාතිකයා දැනට ඉන්දියාවේ හිමාල අඩවියේ (හිමාචල් ප්‍රදේශ්) සෘද්ධි බලයක් තියන ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්න බව අපට කිව්වේ. නමුත් අපි ඒක කීයටවත් විශ්වාස කළේ නැහැ. ඒත් ඒ ගැන ඇතිවුණු කුතුහලය නිසාම අපි ඒ ගැන අහන්න පටන් ගත්තා.
ඒ නේපාල ජාතිකයා කියපු විදිහට ඔය කියන හිමිනම ශ්‍රී ලාංකීය තරුණ භික්ෂුන් වහන්සේ නමක්. මුලින්ම උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ නේපාලයේ නාගර්ජුන් කියන කඳුකර වනාන්තරයේ ආශ්‍රමයක. ඒ කාලයේ තමයි මේ නේපාල ජාතිකයාටත් උන්වහන්සේ මුණගැහිලා තියෙන්නේ. ඒ කාලේදීම උන්වහන්සේ තුළ අසාමාන්‍ය සෘද්ධි බලයක් තිබුණය කියන කාරණය තමන්ට වගේම ඒ ආශ්‍රමයේ අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් වැටහිලා තිබුණා කියලා ඔහු අපිට කිව්වා.
කිසිම දෙයක් ගැන ඇලීමක් ගැටීමක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ගෙවෙන දිවි පෙවෙතක් උරුම කරගත් උන්වහන්සේ ඉතා ඉහළ ආධ්‍යාත්මික ශක්තියක් ; ධ්‍යාන බලයක් හිමිකරගෙන හිටපු බවත් ඒ නේපාල ජාතිකයා අපට කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදිලා හැදිලා වැඩිලා එංගලන්තයේ විශ්වවිද්‍යාල කීපයකින් උපාධි ලබාගෙන ආත්ම විමුක්තිය සඳහා තරුණ වයසේදීම නේපාලයට ඇවිත් පැවිද්ද ලබා ගත්තු බව තමයි ඒ ආශ්‍රමයේ අනිකුත් ස්වාමීන් වහන්සේලා කියා තිබුණේ.
කොහොමත් ඒ හාමුදුරුවෝ තමන්ගේ පෞද්ගලික වතගොත හෙළිකරන්න කැමති නැති බව තමන්ටත් ඒ කාලේම වැටහුණා කියලා නේපාල ජාතිකයා කිව්වා. ඊට පස්සේ කාටවත්ම නොකියා උන්වහන්සේ ඉන්දියාවේ හිමාල අඩවියේ (හිමාචල් ප්‍රදේශ්) ආශ්‍රමයකට ගිය බවත් තමන්ට පස්සේ දැන ගන්න ලැබුණා කියලයි ඒ නේපාල ජාතිකයා කිව්වේ. දැනට උන්වහන්සේ වැඩ වසන්නේ ඒ හිමාල අඩවියේ ආශ්‍රමයකලු.
සිරිරතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා හමුවේ ඒ පිළිබඳව විස්තර කළ එම නේපාල ජාතිකයා පවසා සිටියේ නේපාලයේ නාගර්ජුන් වනාන්තරය ආශ්‍රිත ආශ්‍රමය හා සම්බන්ධකම් පවතින හිමාල අඩවියේ ආශ්‍රමයක වැඩ වාසය කළ උන්වහන්සේ දැන් එම ආශ්‍රමයේ ද නොමැති බවය. ඒ සම්බන්ධයෙන් විමසා බැලු නේපාල නාගර්ජුන් වනය අද්දර ආශ්‍රමයේ හිමිවරුන්ට හිමාල අඩවියේ ආශ්‍රමයේ හිමිවරුන් “ඔහු තවත් ඉහළට ගියා” යනුවෙන් පමණක් පවසා ඇති බවද එම නේපාල ජාතිකයා සිරිරතන හිමියන් ඇතුළු හිමිවරුන්ට පවසා තිබේ.
“හිමාල අඩවියේ කොටසක තිබෙන බෞද්ධ ආශ්‍රමවලට වන්දනාකරුවන් වගේම දේශීය විදේශීය සංචාරකයන් එනවා. ඒත් ඔය අතරේ හිමාල අඩවියේ ඉහළ ප්‍රදේශවල කිසිදු ජන අවධානයට ලක් නොවූ තවත් ආශ්‍රම තියනවා. ඒ අනුව හිමාල අඩවියේ හිමිවරු ඒ හාමුදුරුවන් තවත් ඉහළට ගියා යැයි පවසා ඇත්තේ හිමාල කඳුවැටියේ ඉහළටද? නැතිනම් අධ්‍යාත්මික තත්ත්වයෙන් තවත් ඉහළටද යන්න තමන්ට තේරුම් ගන්න බැරි යැයි ඒ නේපාල ජාතිකයා අප හා කීවා” සිරිරතන හිමියෝ කීහ.
ඒ කෙසේ හෝ එවන් උතුම් ආධ්‍යාත්මික වටිනාකම් සහිත භික්ෂුන් වහන්සේලාගෙන් යුතු ශ්‍රී ලංකාවේ හිමිවරුන් කලහකාරීන් හා ත්‍රස්තවාදීන් ලෙස මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලින් පැතිර යන නරක ප්‍රතිරූපය සම්බන්ධයෙන් තමන් අතිශය කණගාටුවට පත්වනුයේ එම ශ්‍රී ලාංකීය හිමි නම සිහිපත් වීමෙන් යැයි එම නේපාල ජාතිකයා තමන් හා පැවසූ බවද ගලහිටියාවේ සිරිරතන හිමියෝ අප හා කීහ.
සහන් සංකල්ප සිල්වා/ලක්බිම