Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

5832Views

 

 
 

 

 

 

ජනවාර් 13 සිට ජනවාර් 19 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ

වියදම් අධිකයි

ලග්නාධිපති කුජ 12 චන්ද්‍රයා සමඟයි. රවි, බුධ, ශනි භාග්‍යස්ථානයේය. ගුරු අටේ ද රාහු 4, කේතු 10 සිටි. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. තද ලෙස මුදල් වියදම් වීම, නිෂ්ඵල වියදම්වලට ඉඩ මතු කළ හැකි බැවිනි. ගනුදෙනු කිරීමේ දී ප්‍රවේසම් වන්න. වෘත්තීය සහ රැකියා අංශවල දී ඕපාදූප කතාවලින් වැළකිය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී අඩුපාඩු යනාදියට ඉඩ පවති. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතුවල කිසියම් යහපත් බවක් ඇති කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යම් යම් බාධා අවහිරතා ඇතත් දියුණුවක් ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. උෂ්ණාධික රෝග, ශරීරයට විෂබීජ ඇතුළුවීම යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා


කටක

ක්‍රමයෙන් යහපත්

ලග්නාධිපති සඳු යෝගකාරක කුජ සමග භාග්‍යස්ථානගතයි. එහි අධිපති ගුරු, සිකුරු සමග පූර්ව පුණ්‍යස්ථානයේය. රවි, ශනි, බුධ හයවැන්නේ ද රාහු ලග්නයේ ද, කේතු 7 ද ගොචරය වේ. සුළු බාධා අවහිරතා මධ්‍යයේ වුව ද සිය උත්සාහය සහ කැපවීම තුළ වෘත්තීය සාර්ථකත්වයක් උදා කරගත හැකිය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග විවර කරගත හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වනු ඇැත. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. මලබද්ධය, අර්ශස්, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්‍රිත පීඩාදියෙන් ද ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා


තුලා

මිශ්‍රපලයි

ලග්නාධිපති සිකුරු, ගුරු සමග දෙවැන්නේය. රවි, බුධ, ශනි තුන්වැන්නේ ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තම කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. විවිධ අංශයන්ට යොමුවීමෙන් ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අයහපත් නොවේ. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. වාතාබාධ, උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


මකර

ශුභදායක සතියක්

ලග්නාධිපති ශනි, රවි, බුධ සමග 12 වැන්නේය. ගුරු අයස්ථානයේ ද කේතු ලග්නයේ ද, රාහු 7 ද ගමන් කරයි. මෙම පිහිටීම් තුළ සුළු බාධා සහ අවහිරතා ඉස්මතු වුව ද සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබා ගනී. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. රුධිර පීඩනය, උදරගත පීඩා, උෂ්ණාධික රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අකය- 06, දිනය- සිකුරාදා


වෘෂභ

සමපලයි

ලග්නාධිපති සිකුරු බ්‍රහස්පති සමග හත්වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. රවි, බුධ, ශනි අටවැන්නේය. රාහු 3, කේතු නව වැන්නේ ගමන් ගනි. මෙම පිහිටීම් අනුව වෙහෙස මහන්සි ඇති ගමන් යෑමට සිදු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අනවශ්‍ය දේවලට පැටලීමෙන් වළකින්න. බොරු චෝදනාවලට හසු විය හැකි බැවිනි. මිල මුදල් වාසි ලැබුණ ද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. පවුලේ සමීපතම වැඩිහිටි ඥාතීන්ට අපල පීඩා සහිතයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල කටයුතු කරන අයට සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. රුධිර පීඩනය, ලේ දෝෂ, මලබද්ධය, ලේ විෂවීම්, වෛරස් රෝගාදියෙන් ද, වැටීම්, තැළීම්, තුවාල යනාදියෙන් ද ප්‍රවේසම් වන්න.

ජය වර්ණය-- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා


සිංහ

බාධා මැද දියුණුව

ලග්නාධිපති රවි, බුධ, ශනි පස්වැන්නේ ද ගුරු, සිකුරු හයේ ද, සඳු, කුජ අටේ ද ගමන් කරයි. මෙම ගෝචර පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා ප්‍රමාදතා ඉස්මතු වුව ද සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. තමාගේ වියදමට සරිලන ආදායම් ලබයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ඉගෙනීමට පරිබාහිර දේවලට හිත ඇදී යන නිසා උනන්දුවෙන් ද කැප වීමෙන් ද ක්‍රියා කළ යුතුයි. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග, හෘදගත පීඩාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා


වෘශ්චික

ප්‍රමාදතා

ලග්නාධිපති අඟහරු පූර්ව පුණ්‍යස්ථානයේය. එහි අධිපති ගුරු ලග්නයේ සිකුරු සමගයි. රවි, බුධ, ශනි දෙවැන්නේය. මෙම පිහිටීම තුළ යම් යම් බාධා ප්‍රමාදතා මධ්‍යයේ වුව ද සිය උත්සාහය සහ කැප වීම තුළ වෘත්තීය සහ රැකියා කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් බවක් උදා කළත් විටෙක අනපේක්ෂිත සිද්ධීන් ඉස්මතු වීම නිසා වියදම් පක්ෂය ඉහළ යනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ගණිත මිනිත ක්ෂේත්‍ර, පරිගණක ක්ෂේත්‍රවල යෙදී සිටින අයට යහපත්ය. කෙසේ වුවත් උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.

ශුභ වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා


කුම්භ

රැකියා කටයුතු යහපත්

ලග්නාධිපති ශනි රවි, බුධ අයස්ථානයේය. ගුරු දහයේය. රාහු 6, කේතු 12 ගමන් කරයි. මෙම කාල සීමාව තුළ යහපත් තත්ත්වයක් උදා වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු යහපත් වේ. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. එහෙත් වෙහෙස මහන්සි වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීම් කරන අයට සිය උත්සාහය තුළ සාර්ථක පල ලබයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා


මිථුන

වියදම් අධිකයි

ලග්නාධිපති බුධ, රවි, සෙනසුරු සමග හත්වැන්නේය. ගුරු, සිකුරු 6 සිටී. මෙම ගෝචරයන් අනුව වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතාවන්ට මුහුණ පෑමට සිදු වන නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සමඟිය සාමයට තද ලෙස බාධා එල්ල විය හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයකින් ක්‍රියා කිරීම අවශ්‍යයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


කන්‍යා

බාධා සහිතයි

ලග්නාධිපති බුධ, රවි, ශනි හතරවැන්නේ සිටී. ගුරු, සිකුරු 3 ද, කේතු, සඳු, කුජ හතේ ද වේ. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ වැඩකටයුතුවල දී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ඔබ බලාපොරොත්තු වන තරමට උදා නොකරයි. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කරන්න. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. සමඟිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. රුධිර පීඩනය, උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධවලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


ධනු

වියදම් පක්ෂය ඉහළයි

ලග්නාධිපති ගුරු 12 ද, ශනි, බුධ, රවි ලග්නයේ ද සඳු, කුජ 4, කේතු 2, රාහු 8 සිටී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී යම් යම් බාධා අවහිරතා ගැටලුකාරී ගති ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. ආර්ථික වාසි ලැබුණ ද ඔබට වියදම් පක්ෂය පාලනය කිරීම තරමක් අසීරු වේ. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසිලිමත්ව ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය අවශ්‍යයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උනන්දුව සහ කැපවීමෙන් සාර්ථක පල ලබයි. උෂ්ණාධික රෝග, වැටීම්, තැළීම්, තුවාල පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා


මීන

මිල මුදල් ලැබේ

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ද එහි අධිපතියා වන කුජ ලග්නයේ ද වේ. රවි, ශනි, බුධ දහයේය. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීමෙන් තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනී. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වාසි ලැබේ. එහෙත් වියදම් අධිකයි.

ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා