2019 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වන්නේ නැගෙනහිර ක්ෂිතිජයේ කටක ලග්නය උදාව පවතිද්දීය. මෙරට සම්මත ඔරලෝසු වේලාවෙන් අප්‍රේල් 14 වැනි දා ඉරු දින අපර භාග 2.09ට අවරුද්ද උදා වන අතර වර්ෂය ආරම්භයේ නිර්මාතෘවරයා වන රවි කේන්දරයේ දිග්බලයෙන් සිටී. රාජ්‍ය භාවාධිපති මෙන්ම යෝග කාරක අඟහරු අයස්ථානයේ උපචය ස්ථානයේ බලවත්ව ඇත. බ්‍රහස්පති දසවැන්නේ තැන්පත්ව උච්චව දිග්බලව සිටින සූර්යා ත්‍රිකෝණ දෘෂ්ටියෙන් දකී. ඒවා යහපත් ප්‍රබල පිහිටීම් වේ.
මේ අතර රාහු 12, කේතු 6 සිටීම යහපත් පිහිටීමක් නොවන අතර පොදු වශයෙන් සලකන කල ඉදිරි වර්ෂය රටෙහි කිසියම් ප්‍රගතියක් ඇති කරන පිහිටීම් පෙන්වයි. එයට වඩාත් හේතු වන්නේ ලංකා කේන්දරයේ ලග්නාධිපති ශනි ස්වකේෂ්ත්‍ර වෙමින් ඉදිරි කාල සීමා තුළ විමල නමැති බලවත් යොගය ද උදා කරමින් ගමන් කරන නිසාය.
ඉදිරි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බව අපි සියලු දෙනාම දනිති. එම ජනාධිපතිවරණයේ දී ජයගනු ලබන්නා නිද්‍රාශීලී නායකයකු නොව රටට වැඩ ඇති දේශයට හිතවත් රාජ්‍ය නායකයකු වන බව පෙනී යයි. ඊට හේතුව නම් අවුරුදු ලග්නයෙහි රාජ්‍ය කාරක රවි දිග්බලව සිටීමත් රාජ්‍ය භාවාධිපති කුජ ලාභ ස්ථානයේ සිටීමත් නිසාය. රටේ මුළු මහත් ප්‍රශ්න නොවිසඳුණත් ජනහිතකාමී දේශයට හිතවත් වැඩක් කළ හැකි නායකයකු පත් වනවාය යන නිවේදකත්වය අවුරුදු උදා ලග්නයෙන් පෙන්වයි. ලග්නය, දහය යන ස්ථාන බලවත් වීම මීට හේතු වේ. මේ අතර රටෙහි දූෂණ, වංචා, අක්‍රමිකතා මෙන්ම නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් ද මහජනතාවගේ නොසන්සුන්වීම් ද නොඅඩුව පවතිනු ඇත.
වර්ෂ උදා ලග්නයේ දී බොහෝ සෙයින් අවධානය යොමු කළ යුතු වර්ෂාධිපතියා අවුරුදු ලග්නයෙහි යෝගකාරකයා වීම අප රට සම්බන්ධයෙන් පවතින විශේෂ තත්ත්වයකි. වර්ෂාධිපති ඉහළම අගයකින් යුක්ත බවත් ඍෂිවරු පවසති. මෙහි වර්ෂාධිපතියා බලවත් වෙමින් පාර්ලිමේන්තුව නිවේදනය කරන අයස්ථානයෙහි සිටින නිසා මීළඟ පාර්ලිමේන්තුව බොහෝ සෙයින් ශික්ෂාකාමිත්වයෙන් හා දැන උගත් අයගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් වනවා මෙන්ම අශික්ෂිතයන්ට දොර වැසෙනු ඇත.
වර්ෂ උදා කේන්දරයේ ශනි, කේතු ආදීන් එකට එක් වී හයවැන්නේ සිටීම රාහු 12 සිටීම යන කරුණු නිසා රටේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පීඩාකාරී ගති ඇති කළ හැකිය. මහජනතාව නොයෙකුත් බෝවන රෝග, වසංගත රෝග හා නහර ස්නායු දුර්වලතාවන්ට අදාළ වන යම් යම් රෝග ඇති වීමේ ප්‍රවණතාව වැඩි වශයෙන් ඇති විය හැකි නිසා දුරදර්ශී ක්‍රමවේදයන් අනුගමනය කිරීම යහපත්ය. ඒ ඒ ලග්න හිමියන්ට ඇති කරන ප්‍රතිඵල මෙලෙසින් දැක්විය හැකිය.
මේෂ
ආර්ථිකය යහපත්
ලග්නාධිපති කුජ දෙවැන්න වූ ධනස්ථානයේ ගමන් කරන අතර රාහු වික්‍රමස්ථානගතව ගමන් කිරීමත් 10 සහ 11 අධිපති ශනි ලාභත් ලාභ යෝගය උදා කිරීමත් නිසා සුබපල උදා කිරීමේ අවකාශයක් ගෙන දේ. කෙසේ වුවත් පැහැදිලි අභිවෘද්ධියක් හා වෘත්තීය සහ ආර්ථිකමය පසුතලයෙහි සාර්ථකත්වය ඇරැඹෙන්නේ මේ වසරේ නොවැම්බර් 6න් පසුවය. භාග්‍ය ස්ථානගතව යෙදෙන අහස් මුදුන් භාවාධිපතින්ගේ සංයෝගය උච්චව සිටින කේතුට සම්බන්ධ වීම නිසා නොසිතූ නොපැතූ ආකාරයෙන් ආර්ථික ප්‍රතිපලවලට මඟ පාදනු ඇත. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී අයහපත් බවක් නොපෙනේ. පවුලේ දූ දරුවන්ගේ යහපත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය, වෘත්තීය වශයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නා වූ අභිවෘද්ධිය ඉටුවීමේ අවකාශයක් පවතී. යුග සැපත මධ්‍යස්ථයි.
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සලකන කල ප්‍රතිඵලදායකත්වයක් පෙන්වයි. විභාගාදියෙන් යහපත් ඉහළ මට්ටමේ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තමා යොමු වන අධ්‍යාපන ක්ෂේත්‍රවල දී වැඩි ලකුණු ලැබීමෙන් ඉහළ මට්ටමේ සාමර්ථ්‍යවලට අවකාශ ලැබිය හැකිය.
ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන බැලීමේ දී ශුභා‘ශුභ මිශ්‍ර පලදායක වේ. පිත් කෝපය මුල් වූ පීඩා, වාතාබාධ, වෛරස් රෝග, සෙංගමාලය වැනි රෝග සඳහා අවකාශයන් ඇති නිසා කල්පනාකාරී වන්න. අත් පා මුල් වූ පීඩා සඳහා ඉඩකඩ පවතින හෙයින් වැඩි අවධානයකින් පසුවීම යෙහෙකි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ
ආයාසයෙන් ක්‍රියා කිරීමෙන් යහපත් ප්‍රතිඵල
ලග්නාධිපති සිකුරු වර්ෂය ආරම්භයේදීම මෙන් උච්ච රාශි ගතවන නිසාත්, ශනි කේතු ආදී ග්‍රහයෝ අට වැන්නේ සංයෝග වීමත් තුළ යම් යම් අපේක්ෂා සහගත අරමුණු ඇතත් 8 වැන්නේ යෙදී ඇති ග්‍රහ සංයෝගය නිසාම ආර්ථිකමය සහ වෘත්තීය යන දෙඅංශයෙහිම නෙයෙකුත් පීඩාකාරී බාධාකාරි තත්ත්වයන් ද උදා කළ හැකිය.
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී යුග සැපතට අදාළව උසස්ම වාතාවරණයක් ඉස්මතු වේ යැයි පැවසීම අසීරු වේ. ශනි, කේතු අටවැන්නේ ගමන් කිරීම නිසා පවුලේ ශුභ සිද්ධියට ඉහළම හිතකර වාතාවරණයක් ඇති නොවේ. 2019 වසර ඉකුත් වීමෙන් පසු සෙනසුරුගේ අයහපත් ගමන නිමා වන නිසා ඉන් ඉදිරියට කිසියම් සහනදායී පසුබිමක් ඇති කළ හැකිය. දූ දරුවන් හා පවුලේ යහපත වෙනුවෙනි. අධ්‍යාපන අංශවල නියුක්ත වූවන්ට දැඩි උත්සාහයෙන් කටයුතු කිරීමට සිදු වේ. ආයාසයෙන් ක්‍රියා කිරීම තුළ පමණක් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබීමේ ඉඩක් පවතී. අධ්‍යාපන අංශයෙහි වඩාත් යහපත් ප්‍රතිඵල මෙන්ම විදෙස් අධ්‍යාපනයක් ලැබීමේ අවකාශය පවා ජනවාරි 20න් පසු ඇති කළ හැකිය.
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශුභා‘ශුභ බවක් පෙන්වයි. වාතාබාධ මුල් වූ පීඩා, ශරීරයෙහි අබල දුබල ගති, කල් අල්ලන යම් යම් රෝග, ස්නායු නහර ගත පීඩා ඇති වීමේ අවකාශ පවතින නිසා වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළ යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි
ලග්නාධිපති බුධ නීච භංග යෝගයක් සහිතව කර්මස්ථානය වූ දහවැන්නේ ගමන් කරයි. රාහු ලග්නයේ හා ශනි කේතු ගුරු හත්වැන්නේ ගෝචරය වේ. මේ පිහිටීම තුළ මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරනු ඇත. රැකීරක්ෂා කටයුතුවල දී හා ආර්ථික පසුබිමට සම්බන්ධ තත්ත්වයන් තුළ හිතකරම වාතාවරණයක් ඇති කළ හැකි යැයි පැවසීම අසීරුයි. ශනි, කේතු සම්බන්ධය නිසා වෘත්තීය සහ රැකියා තෘප්තිය අඩු කරයි. ආර්ථිකමය වශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගැනීම සඳහා වගකීමෙන් කටයුතු කිරීමට සිදු වේ.
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සලකන කල ශනි, කේතු දෙදෙනා මංගල භාවයේම ගමන් කරන නිසා ගෘහ ජීවිතයෙහි සමබර තත්ත්වය වඩා හොඳින් නොවපතිනු ඇත. ඒ කෙසේ වුවත් රාහු සහ කේතු දෙදෙනාම උච්ච භාවගතව ගමන් කිරීම නිසා බුද්ධිමත්ව, ඥානවන්තව ක්‍රියා කිරීමෙන් යුග සැපතෙහි කිසියම් ආකාරයක අස්වැසිල්ලක් ලැබිය හැකි වේ. දූ දරුවන් සම්බන්ධයෙන් සමපල ප්‍රතිඵල ගෙන දෙන බව පෙනේ.
අධ්‍යාපන කටයුතුවල නියුක්තව සිටින්නන්ට මේ වසර අහිතකර නොවේ. ඊට හේතුව නම් උසස් අධ්‍යාපන භාවාධිපතියා දිග්බලව ගමන් කිරීමත් කේතු උච්චව ඥාන කාරකයකු වශයෙන් ගමන් කිරීම නිසාය. මේ නිසා අධ්‍යාපනයෙහි ප්‍රබෝධයක් ලැබිය හැකි වේ.
සෞඛ්‍යමය තත්ත්වය මිශ්‍රපලයි. ශනි, කේතු ආදීන් හත්වැන්නේ ගමන් කරන නිසා යම් යම් වන පිළිකා ආදී රෝග, රක්ත දෝෂ, චර්මාබාධ මෙන්ම නහරගතව හා සන්ධිපත් ආශ්‍රිතව ඇතිවන ලෙඩ රෝගයන්ට ඉඩකඩ යෙදේ.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
වෘත්තීය ලාභ
ලග්නාධිපති චන්ද්‍රයා ස්වක්ෂේත්‍රවම ලග්නගතව ගමන් කරමින් සිටිය දී වසර ඇරඹෙන අතර යෝගකාරක කුජ අයස්ථානගත වීමත් ශනි උපචය භාවගත වීමත් නිසා තම වෘත්තීය සහ ආර්ථිකමය වශයෙන් හිතකර ලක්ෂණ ක්‍රමයෙන් ඇති කළ හැකිය. වසරෙහි වැඩි කාලයක් බ්‍රහස්පපති 5 වැන්නේ සිටිමින් ලග්නය දකින නිසා වෘත්තීය සහ ආර්ථික වශයෙන් ආයාසයෙන් හෝ ඉෂ්ට-සිද්ධ කරගත හැකිය.
ගෙදරදොර ජීවිතය සම්බන්ධයෙන් අහිතකර නොවේ. විවාහාපේක්ෂකයන්ට මංගල යෝජනා ස්ථිර කරගැනීමේ දී තරමක් වෙහෙසීමට සිදු වේ. කෙසේ නමුදු යුග සැපත ගත කරන වැඩිහිටියන්ට තම දූ දරුවන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය, වෘත්තීය ලාභ හෝ වෙනත් අරමුණු ඉටු වීම නිසා සාර්ථකත්වයක් හා සතුටක් ලැබිය හැකි වෙයි.
ඉගෙනීම සම්බන්ධයෙන් සලකන විට මේ වසර යහපත්ය. උසස් අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට බොහෝ සෙයින් උසස් ප්‍රතිඵල ලැබේ. ශිෂ්‍යත්ව ලාභ ඇති කරයි. වාර්තාගත ඉහළ ප්‍රතිඵල ලැබිය හැකිය.
ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ශනි, කේතු දෙදෙනාම එකට එක්වී ගමන් කරන නිසා උදරගත ආබාධ, ආහාර දිරවීමේ විසමතා, එක එල්ලේ බේත්හේත්වලින් ප්‍රතිඵල නොලැබීම යන අඩුපාඩුවලට මුහුණ පෑ හැකිය.
ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
ආදායම් මාර්ග සරුසාරයි
ලග්නාධිපති රවි උච්චව භාග්‍යස්ථානගතව ගමන් කරන අතර රාහු අයස්ථානයේ උච්චව ද බ්‍රහස්පති ශුභ භාවගතව ද ගමන් කරන නිසා වෘත්තීය සහ ආර්ථිකමය යන අංශ දෙකෙහිම ප්‍රගතියක් සලසා ගනී. ආදායම් මාර්ග සරුසාර විය හැකිය. ආයාසයෙන් කටයුතු කිරීම තුළ වෘත්තීය ජයග්‍රහණ ලැබිය හැකි වේ.
ගෙදරදොර ජීවිතය සමබරදායකය. කේන්දරයෙහි බ්‍රහස්පති යහපත් ස්ථානවල ගමන් කිරීමේ ප්‍රවණතාව නිසා හිතකර බවක් ඉස්මතු වේ. කෙසේ නමුත් විවාහාපේක්ෂකයන්ට මංගල යෝජනා තහවුරු කර ගැනීම තරමක් අසීරු වේ. දූ දරුවන් සහිත මවුපියන්ගේ සතුට වර්ධනය කරන බලයක් බ්‍රහස්පති යහපත්ව ගමන් කරන නිසා ඇති කරයි. දරුවෝ උසස් ප්‍රතිඵල ලබමින් තම අරමුණු අපේක්ෂා ඉටු කර ගනිති. ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල ද යහපත්ය.
තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාවක් සිංහ ලග්න හිමියන්ට ඇති වේ. තමා පෙනී සිටින අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි යහපත් ප්‍රතිඵල ලැබිය හැකිය. රෝගාබාධ සම්බන්ධයෙන් සැලකීමේ දී උදරගත ආබාධ, ආහාර දිරවීමේ දුර්වලතා වඩාත් වැඩියෙන් ඇති කරයි. කල් අල්ලන රෝගාබාධයන්ට ඉඩ පවතී.
ජය වර්ණය- රෝස, අංකය- 04, දිනය- ඉරිදා
කන්‍යා
වසර අවසානය ශුභයි
ලග්නාධිපති බුධ හත්වැන්නේ ගමන් කරන අතර ශනි, කේතු ආදීන් 4 වැන්නේ ශනි කණ්ඨක දෝෂ සහිතව ගමන් කරනු ඇත. මේ නිසා වසරෙහි මුල් මාස කිහිපය සතුට අඩු කළ හැකිය. සිතෙහි සැහැල්ලු බව අඩු වුවත් නොවැම්බර් 6 දායින් පසු එම තත්ත්වය වෙනස් වේ. රැකියා සහ ආර්ථිකමය යන දෙපාර්ශ්වයෙන්ම යහපත් බවක් වසර අග සිට ඇති කරයි. ඍණ මානසිකත්වයෙන් දුබල නොවී අනාගතයට මුහුණ දිය යුතුයි. ගෙදරදොර ජීවිතය සම්බන්ධයෙන් මධ්‍යස්ථපලදායකයි. යම් යම් පීඩාකාරී ගති ගෘහ ජීවිතය තුළ ඇති වුවත් සමස්තයක් වශයෙන් නොවැම්බර් 6 දායින් පසු සියල්ල යහපත් අතට හැරෙනු ඇත. ඉන් ඉදිරියේ දී දූ දරුවන්ට ද යහපත්ය. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වේ. අධ්‍යාපනයේ නියුක්ත වූවන්ට ඉදිරි වසර අයහපත් නැතත් එහි ශුභදායී ප්‍රතිඵල මුල් මාස 6න් පසු ඇති කරයි.
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේ දී පෙණහලු සම්බන්ධ පීඩා, හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම, හතිය වැනි ආබාධයන්ට ලක්වීම, වාතාබාධයන්ගෙන් යුක්ත වීම යන සෞඛ්‍යමය ඌනතාවන්ට මුහුණ පෑ හැකිය.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
සාර්ථක යුග දිවියකට ඉඩකඩ
ලග්නාධිපති සිකුරු පූර්ව පුණ්‍යස්ථානගතව ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ලග්නය දකී. යෝගකාරක සෙනසුරු තුන්වැන්නේය. මේ අනුව ග්‍රහ ගමන් අයහපත් නැත. මේ නිසා තුලා ලග්න හිමි ඔබට මෙම වසර තුළ හිතකර ප්‍රතිඵල ලැබේ. රැකියා තනතුරු තානාන්තරවල දී වඩාත් ප්‍රතිඵලදායක වාතාවරණයක් ඇති කරයි. වෘත්තීය කටයුතුවල දී ඉහළ දියුණුවක් ලැබිය හැකි අතර ආදායම් මාර්ග සම්බන්ධයෙන් ද ශුභදායක වාතාවරණයක් පෙන්වයි. දැඩි ආත්ම ශක්තියෙන් හා උනන්දුවෙන් යුක්තව වෘත්තීය සහ ආර්ථිකමය අරමුණු ඉෂ්ට සිද්ධ කර ගත හැකිය.
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී යහපත් ප්‍රතිඵල ලබයි. කේන්දරයේ දෙවැන්න, හත්වැන්න ආදී ස්ථාන පීඩාකාරී බවින් තොර නිසා යුග සැපතට සම්බන්ධ සහනශීලී බව නොඅඩුව ඇති කරයි. පවුලෙහි දූ දරුවන්ගේ යහපත නිබඳවම ඇති කරයි. වඩාත් වැඩි සාර්ථක යුග දිවියකට ඉඩකඩ සලසන වසරක් වේ.
අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේ දී යහපත් බවක් කිව හැකිය. කේන්දරයෙහි විද්‍යස්ථානාධිපති සෙනසුරු යෝග කාරකයා ද වෙමින් තුන්වැන්නේ උපචය භාවගතව ගුරුගේ රාශියේ නිසා ශාස්ත්‍රීය කටයුතවලින් ජයග්‍රහණ ද විභාග සාමර්ථ්‍යය ද ඇති කරයි.
රෝගාබාධ සම්බන්ධයෙන් සලකන කල බොහෝ දුරට ශුභ සම්පන්න බවක් ඇති කළ හැකිය. රෝග කාරක ග්‍රහයෝ රෝගී ස්වභාවයන්ගෙන් වළකන බලයක් ඇතිව සිටී. මේ නිසාම සෞඛ්‍යමය වශයෙන් ද හිතකර බවක් පෙනී යයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
යහපත් අනාගතයක්
ලග්නාධිපති කුජ කේන්ද්‍රගතව ගමන් කරන අතර ගුරු යහපත්ය. රාහු කේතු 8, 2 ආදී ස්ථානවල ඇතත් ඔවුන් උච්ච බලයෙන් සිටී. වසරේ වැඩි කාලයක්ම බ්‍රහස්පති යහපත්වම ගමන් කරයි. මේ නිසා රැකීරක්ෂා කටයුතු, ආර්ථිකමය පසුබිම යන දෙඅංශයම ප්‍රබෝධමත් බවක් ක්‍රමයෙන් ඇති කරයි.
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී යම් යම් අඩුපාඩුකම් නැත්තේ ද නොවේ. ශනි කේතු කුටුම්බ ස්ථානගතවීම නිසා එතරම්ම සාර්ථක යුග දිවිය සඳහා ඇති ඉඩකඩ අහුරයි. මීට හේතුව තමාට හෝ තම කලත්‍රයාට ඇති දුක් දොම්නස් කරදර හෝ සෞඛ්‍යමය පීඩා විය හැකිය. පවුලේ අයට ඇති කරන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ද එක්තරා අඩුපාඩුවක්ව පවතී. කෙසේ වුවත් දූ දරුවන් සම්බන්ධයෙන් ඇති වන තත්ත්වය අයහපත් නැත.
අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නියුක්ත වන වෘශ්චික ලග්න හිමියෝ ඉන් නිසි පල නෙළා ගනිති. විභාගාදියෙන් ඉහළ මට්ටමේ සාමර්ථ්‍යයක් ලැබිය හැකිය. බ්‍රහස්පති බලවත්ව යහපත්ව ගමන් කිරීම නිසා උසස් අධ්‍යාපනයට දොර විවෘත වේ.
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශුභා‘ශුභ මිශ්‍රයි. ශරීරයට වෛරසයන් ඇතුළු වීම, මුත්‍රා ආබාධ, මුත්‍රාශයේ පීඩා, සතුන් සර්පයන්ගෙන් ඇති වන අනතුරු ගැන ද කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
සමපලදායකයි
ලග්නධිපති ගුරු ලග්නයේම ස්වක්ෂේත්‍රව සිටිය දී වසර ඇරඹේ. ගුරුගේ එම ගෝචරය තාවකාලික වුවත් නොවැම්බර් 6 දායින් පසු එම ගුරු ඉතා සාර්ථක ලෙස ලග්නගතව හංස යෝගය උදා කරමින් ගමන් ගනී. එ් නිසා ඉන් ඉදිරිය යහපත්ය. වසරේ මුල් භාගයේ දී වෘත්තීය සහ ආර්ථිකය සම්බන්ධයෙන් ලොකු සාර්ථකත්වයක් ඇති කරන ලක්ෂණ නැත. එහෙත් නොවැම්බර් 6 දායින් පසු මේ සියල්ලේ වෙනසක් ඇති වේ. ධන සම්පත් වෘත්තීය සම්පත් උද්දීපනය කරන වාතාවරණයක් පවතින බව කිව යුතුයි.
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී ශුභා‘ශුභ මිශ්‍රය. කේතු, රාහු ලග්නයේ සහ හත්වැන්නේ ගමන් කිරීම නිසා යුග සැපත මිශ්‍රපලදායක වනු ඇත. සහනශීලී ජීවිතයට ඇති ඉඩකඩ අහුරයි. දූ දරුවන් සම්බන්ධයෙන් ඉතාම හිතකර වාතාවරණයක් ඇති කරනනේ ද නොවැම්බර් 6 දායින් පසුවයි.
අධ්‍යාපනය සම්බන්ධයෙන් අහිතකර නොවේ. ඥාන කාරක කේතු උච්චව ලග්නගත වීම නිසා බුද්ධිය, අවබෝධ ඥානය ඉහළ මට්ටමින් පවතී. මේ නිසා දැනුමෙන් ඉහළ තත්ත්වයට පත් වේ. කෙසේ නමුත් වඩා හොඳ ප්‍රතිඵල වර්ෂයේ අවසානයේ සිටයි.
සෞඛ්‍යය සම්බන්ධයෙන් ශුභා ‘ශුභ මිශ්‍රයි. සෙම් කෝප මුල් වූ රෝග, අර්ශස් වැනි ආබාධ, බඩවැල්වල පීඩා ඇති කරයි. ජීර්ණ පද්ධතියෙහි ව්‍යාකූලතා ඇති කළ හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
දූ දරුවන්ට වාසනාව උදාවෙයි
ලග්නාධිපති ශනි 12 වැන්නේ ගමන් කරතත් මිත්‍ර රාශිගතව සිටිමින් මෙතෙක් කල් ලග්නයේ පීඩා කරමින් සිටි කේතු ඉන් ඉවත් වීමත් රාහු උපචය ස්ථානගතව උච්චව 6 වැන්නේ සිටීමත් යන කරුණු නිසා ග්‍රහ ගෝචරය යහපත්ය. ජීවිතයේ අභිවෘද්ධිය සාර්ථකත්වය වෘත්තීය කටයුතුවල කැපී පෙනීම මෙන්ම ආර්ථිකයේ සමෘද්ධිය ඇති කරයි. බාධක ස්ථානගතව සතුරු රාශිගතව සිටි සෙනසුරු 11 වැන්නෙහි සිටියාට වඩා 12 වැන්න යහපත් වන්නේ රාශි බලය සහ භාව වශයෙන් බාධක ස්ථානයෙන් ඉවත් වීම නිසාය. මේ නිසා ලග්නය පිරිසුදු වී ලග්නාධිපති ද බලවත් වීම යහපත් කරුණක් නිසා වෘත්තීය රැකියා දෙඅංශයෙන්ම යහපත් වේ.
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සලකන කල පැවැති ප්‍රබලම බාධාවක් ඉවත් වීම සහනය සතුට උරුම කරන බව පෙන්වයි. සහකරු සහකාරිය ලෙඩ රෝගවලින් මිදේ. දූ දරුවන් ද වාසනාවන්ත තත්ත්වයට පත් වී පවුල් ජීවිතය අලංකාරවත් කරනු ඇත.
අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉලක්ක සහගත ප්‍රතිඵල ලබනු ඇත. විද්‍යස්ථානාධිපති හා උසස් අධ්‍යාපන භාවාධිපති යන දෙදෙනාම යහපත් බලයක් ගමන් කරමින් ප්‍රඥාකාරක ගුරුගේ බලයෙන් ද පෝෂණය වී ඇති නිසා ඉහළම මට්ටමේ උපාධි සාමර්ථ්‍යයට මෙය බලපවත්වයි.
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අයහපත් නැත. සාමාන්‍යයෙන් ඇති කරන උදරගත පීඩා, ආහාර දිරවීමේ දුර්වලතා ඇති වුවත් තදබල රෝගයන්ට ලක් නොවේ. සෞඛ්‍ය සම්පන්නයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
පවුල් ජීවිතය යහපත්
ලග්නාධිපති සෙනසුරු අය භාවගතව ගුරුගේ රාශියෙහි ගුරු සමඟම සිටී. මෙය අනාගතය වාසිදායක කරන කරුණක් වනු ඇත. ආදායම් තත්ත්වය බෙහෙවින් යහපත්ය. ධන අය භාවාධිපති ගුරු ධන කාරක වෙමින් යහපත්ව ගෝචරය වේ. මිල මුදල් ලාභ බහුලයි. වෘත්තීය වශයෙන් ද පෙරට වඩා තෘප්තිමත් අයුරින් කටයුතු කළ හැකි වාතාවරණයක් ඇති කරන බව කිව යුතුයි.
මංගල භාවාධිපති වශයෙන් රවි බලවත්ව ගමන් කරයි. වර්ෂයෙහි ඉදිරි භාගය ගුරුගේ බලයෙන් වඩාත් වර්ධනය වේ. සත්වැන්නට ත්‍රිකෝණ දෘෂ්ටියක් එලල්ල කරන නිසා යුග සැපත අසාර්ථක නොවේ. පවුල් ජීවිතය යහපත්ය. සාමකාමීය. දරුවෝ ඉතා හොඳ මට්ටමට පත් වී අධ්‍යාාපනමය වෘත්තීය වශයෙන් විවාහය වශයෙන් අපේක්ෂා ඉෂ්ට සිද්ධ කරගනී.
ඉගෙනීමේ කටයුතුවල දී අපේක්ෂා මල්පල ගැන්වෙනු ඇත. වඩාත් වැඩි සතුටුදායක ප්‍රතිඵල නිරායාසයෙන් උරුම කරයි. පොදුවේ යහපත්ය.
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අයහපත් නොවේ. ලේ දූෂ්‍ය වූ ආබාධ, බෝවන රෝග ඇති වීම, හන්දිපත් ආශ්‍රිත පීඩා ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
ආදායමේ වැඩි දියුණුවක්
ලග්නාධිපති බ්‍රහස්පති බලවත්ව අහස් මුදුන් භාවයේ ස්වක්ෂේත්‍රව හංස යෝගය උදා කරමින් ගමන කරනු ඇත. මෙය තම තත්ත්වය සම්බන්ධයෙන් සාර්ථකත්වයක් ගොඩ නඟන්නකි. රැකියා හා ආර්ථිකය අඩපණ නොවේ. යම් යම් ආකූල ව්‍යාකූලතා මධ්‍යයේ හෝ තනතුරු තානාන්තර ඉහළ මට්ටමකට පත් වීම හෝ ස්ථාවර වීම මෙන්ම ආදායම් තත්ත්වයේ ද වැඩි දියුණුවක් ඇති වේ.
යුග සැපත සම්බන්ධයෙන් සැලකීමේ දී අයහපත් නොවේ. එහි අර්බුදකාරී ගති ඇති නොකරයි. සැනසිලිදායී බවකින් යුක්තව ජීවිතය ගත කළ හැකි වාතාවරණයක් පවතී. දූ දරුවන් සම්බන්ධයෙන් ද ආඩම්බර විය හැකි වාතාවරණයක් වර්ෂය මුළුල්ලේ ඇති කරයි.
අධ්‍යාපන කටයුතුවල බෙහෙවින්ම යහපත් වාතාවරණයක් උදා කරන අතර ඉන් උසස් ප්‍රතිඵල ලැබී යහපතට මඟ සලසයි.
සෞඛ්‍ය තත්ත්වය මධ්‍යස්ථ පලදායකයි. දණහිස් සම්බන්ධ ආතරයිටිස් වැනි පීඩා, ආබාධ ඇති කළ හැකිය. පපුවේ වේදනා, කැක්කුම් ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල