Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

වෙන රටක් වෙනුවෙන් යුද වදින සිංහලයා

2344Views

 

 
 

 

 

හැමදාමත්  අපි අනුන් වෙනුවෙන් ජීව්ත කැප කරපු මිනිස්සු  ඒ වගේම  අනෙකාගේ සතුට ගැන හිතපු මිනිස්සු  ඔබ මේ කතාව අහලා තිබුනද බලන්න කියවලා අනිවාර්යයෙන්  ඔබට ආත්ම අභිමානයක්  දැනේවී අනුන්ගේ අධිරාජ්‍යයක් වෙනුවෙන් සටන්බිමට ගිය ලාංකිකයන් පිරිසක් තම ජීවන ගමන අවසන් කළේ මේ ලෙසය

ලෝක යුද සමයේ මෙහි ලාංකික සෙබළු 56 දෙනෙක් සේවය කළහ. මෙම පිරිස හැඳින්වුණේ** සිලෝන් ගැරිසන් ආටිලරි යනුවෙනි. ගැරිසනයක් යනු කාලතුවක්කු ඒකකයකි.

එංගලන්තයට එරෙහිව ලංකා යුද සෙබළුන් කොකෝස් දිවයිනේදී ඇතිකළ කැරැල්ල

ඉතිහාසයේ සැඟවුණු කතාවක්

දෙවැනි ලෝක යුද්ධය හට ගත්තේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ සමයේය. බ්‍රිතාන්‍යයන්ගේ වැදගත් කොලනියක් වූ ලංකාව යුද්ධය සඳහා සෑහෙන සොල්දාදුවන් පිරිසක් ද‌ායක කළ රටක්ද විය. බ්‍රිතාන්‍යයන්ගේ මෙරට ස්ථිර හමුද‌ාවට බැඳී සිටි සුළු පිරිස මහා සංග්‍රාමයට ප්‍රමාණවත් නොවූ හෙයින් දඩිබිඩියේ හැඩිදැඩි තරුණයන් බඳවාගෙන පිටරට යුද පෙරමුණු කරා යැවූ බව වාර්තාවල සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයන්ගේ අධිරාජ්‍යය බේරා ගැනීම සඳහා ලංකාවෙන් යැවූ හමුද‌ා පිරිසක් ඕස්ට්‍රේලියාව අසල කොකෝස් දූපත්හිදී කැරැල්ලක් ඇතිකර බ්‍රිතාන්‍යයට හිසරදයක් වූ අන්දමත් අවසානයේ කැරලිකාර ලාංකික හමුද‌ා භටයන් කිහිපදෙනකු වැලිකඩදී එල්ලා මරා දැමීමත් එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කැලඹවූ සිදුවීමක් විය. මෙම කැරැල්ල සිදුවූයේ 1942 මැයි මස 8 වැනිදාය. දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය කඳවුරක් තුළ සිදුවූ එකම කැරැල්ල මෙය වේ.

කොකෝස් අයිලන්ඩ් යනුවෙන් ඉංග්‍රීසියෙන්ද පුලු කොකෝස් දූපත් ලෙස මැලේ භාෂාවෙන්ද හැඳින්වෙන මෙම දූපත් පැසිපික් සාගරයේ පිහිටි දූපත් පෙළකි.

1857 දී බ්‍රිතාන්‍ය කිරුළට අයත් වූ මෙම දූපත් 1957 සිට ඕස්ට්‍රේලියාව යටතේ පාලනය වෙයි. මෙම කැරැල්ල සිදුවන සමයේ එය බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 14 කි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණත් මෙහි සිටින ජනයා ඉන්දුනීසියාවේ මැලේවරුන්ගෙන් පැවත එන්නෝය. යුද සමයේ ඉතා සුළු දූපත් වැසියන් පිරිසක් සිටියද එය බ්‍රිතාන්‍ය හමුද‌ාවේ වැදගත් ආරක්ෂක මුරපොළක් වූයේ ජපානයට එරෙහිව කලාපයේ බලය පවත්වාගෙන යාමට මුහුදේ පිහිටි හුදකලා ගල්පර පවා වැදගත්වූ නිසාය. මුහුදේ ජීවත්වන කොරල් පණුවාගේ දීර්ඝකාලීන ව්‍යායාමයක් නිසා බිහි වූ කොරල් දූපත් 27 කින් යුතු මෙහි වැවී ඇති පොල් වගාව නිසා කොකෝස් (කොකනට්) දූපත් ලෙස නම් වී ඇත.

ලෝක යුද සමයේ මෙහි ලාංකික සෙබළු 56 දෙනෙක් සේවය කළහ. මෙම පිරිස හැඳින්වුණේ** සිලෝන් ගැරිසන් ආටිලරි යනුවෙනි. ගැරිසනයක් යනු කාලතුවක්කු ඒකකයකි. ‘‘සිලෝන් ගැරිසන් ආටිලරි’’ හමුද‌ා ඛණ්ඩය යටතේ මිලිමීටර් 152 හා 222 කාලතුවක්කු අවි දූපතේ සවිකර තිබිණ. කඳවුරේ අණදෙන නිලධාරියා වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ කපිතාන් ජෝර්ජ් ගාඩිනර් ය.

මෙම කාලය වන විට ජපාන හමුද‌ා බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධයකට එළඹෙමින් සිංගප්පූරුවේ තිබූ බ්‍රිතාන්‍ය හමුදා මූලස්ථානය අල්ලාගෙන සිටියේය. මේ නිසා ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර මුහුදු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය නාවික ගමනාගමනයට විශාල තර්ජනයක් එල්ලවී තිබිණ. ඕස්ට්‍රේලියාවට වයඹ දෙසින් තිබූ කොකෝස් දූපත් රැකගැනීම බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා සඳහා වැදගත් වූ අතර එම දුපත් අල්ලා ගැනීම ජපානයට වැදගත් විය.

මේ වන විට බ්‍රිතාන්‍යය පැසිපික් සයුරේ බලය රඳවාගෙන සිටි ප්‍රින්ස් ඔෆ් වේල්ස් ප්‍රහාරක නෞකාව ඇතුළු යාත්‍රා රැසක්ම සද‌ාකාලික නින්ද සඳහා මුහුදු පත්ලට යැවීමට ජපාන නාවික හමුද‌ාවට හැකිවී තිබිණ.

ජපානය සිංගප්පූරුව අල්ලා ගැනීමත් හවායි දූපතේ පිහිටුවා තිබූ ඇමරිකාවට අයත් පර්ල් වරායට පහරදී ඇමරිකානු 7 වැනි නාවික හමුද‌ාව මුහුදු පත්ලටම යවා තිබීමත් නිසා ජපානයට පක්ෂව බ්‍රිතාන්‍යයට එරෙහිව මතවාද ලංකාව තුළ ඉහළටම මතුවෙමින් තිබිණ.

මෙරට සමහර ජනයා බ්‍රිතාන්‍යයන් පලවා හැර බෞද්ධ රටක් වන ජපානයට ලංකාව යටත්වන දිනක් ගැන ඇඟිලි ගනිමින් සිටි බවද කියැවිණ. ජපානය බෞද්ධ රටක් වීම සහ ජපාන පිලේ සිටි ජර්මනියේ ජනතාව පැවත එන්නේ ආර්යයන්ගෙන්ය යන මතවාදයත් නිසා මෙරට පොදු ජනයා බ්‍රිතාන්‍යයේ පැත්ත නොව හිට්ලර් ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී පැත්ත ගෙන සිටියහ. එහෙත් ඔවුන්ට රට තුළ බලයක් නොවූ අතර බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතිව මෙරට පාලන බලයට කීකරු කරගෙන සිටි පාලකයෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය රැකගැනීම සඳහා අධිරාජ්‍යවාදීන්ට සහාය පළකරමින් සිටියහ.

ලංකා දේශපාලනය තුළද ජපාන හමුද‌ා අග්නිදිග ආසියාව තුළ ලබමින් සිටි ජයග්‍රහණ නිසා උද්දාමයට පත් පිරිසක් සිටි අතර එවකට තරුණවියේ සිටි ජේ.ආර්. ජයවර්ධන ඉන් එක් අයෙකි. ඒ වන විට ජපාන හමුදාවේ පුහුණුවීම් ලැබ ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව ගරිල්ලා අරගලයක නිරතව සිටි කණ්ඩායම් තම රටේ යම් යම් ප්‍රදේශ නිදහස් කරගනිමින් සිටියහ. පිලිපීනයේද ගරිල්ලා කණ්ඩායම් තම රට අල්ලාගෙන සිටි ඇමරිකාවට ප්‍රහාර එල්ල කරමින් සිටියහ.

ජේ.ආර් ඇතුළු දේශපාලකයන් බ්‍රිතාන්‍යයෙන් තම රට ගලවා ගැනීම සඳහා මෙය සුදුසු මොහොත ලෙස සැලකු නමුත් ඩී.එස්. සේනානායක මහතා ගත්තේ බ්‍රිතාන්‍යයේ පැත්තයි. පසුකාලීනව ජපානය ජේ.ආර්ගේ දිගුකාලීන මිත්‍රත්වය වෙනුවෙන් ඔහුට නිරන්තර සහාය පිරිනැමීය. කොකෝස් දූපතේ ලාංකික හමුද‌ා භටයන් බ්‍රිතාන්‍යයට එරෙහිව කැරලි ගැසුවේ මෙවැනි පරිසරයකදීය.

කැරලිකාර කණ්ඩායමේ නායකයා වූ බොම්බඩියර් වතුමුල්ලගේ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු උපන්නේ සිංහල බෞද්ධ දෙමාපියන්ට ද‌ාව ය. ඔහුගේ පියා ලංකා ටෙලි​ග්‍රාෆ් කාර්යාලයේ අධිකාරිවරයා විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රනාන්දු පසුව රෝමානු කතෝලික අාගම වැළඳගත්තේය. ලංකා සමසමාජ පක්ෂය ඒ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දේශප්‍රේමී අදහස් ප්‍රචාරය කරමින් සිටි අතර තරුණ ග්‍රේෂන් ප්‍රනාන්දුගේ සිත නිරායාසයෙන්ම සම සමාජ අදහස් තුළට නැඹුරු විය. එහෙත් ඔහු කිසිද‌ා සම සමාජ පක්ෂයට බැඳුණේ නැත.

දෙවැනි ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය සේනාංකයකට බැඳී පළමුව සීෂෙල්ස් දූපත්වලට යනවිට ද ලක්දිව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කරගත යුතුය යන තමන්ගේම අදහස්වල ඔහු ගැලී සිටියේය. දෙවනුව ඔහු දෛවෝපගත ඉරණම සඳහා කොකෝස් දිවයිනේ සේවයට යන විට නිදහස් අදහස් වැඩි වී මිස අඩුවී තිබුණේ නැත

කොකෝස් දූපත්වල සිනිඳු වැල්ලේ වාඩි වී නිරන්තරයෙන්ම අධිරාජ්‍ය විරෝධී අදහස් පළකළ ප්‍රනාන්දුට සේනාංකයේ සගයන් 56 දෙනාගෙන් 30 දෙනකු තම අදහස් කෙරෙහි නම්මාගන්නට පුළුවන් විය. ඔවුන් කැරැලිගසා බ්‍රිතාන්‍ය නිලධාරින් අත් අඩංගුවට ගෙන ජපාන සෙබළුන් සිටින ආසන්න දූපතකට කාලතුවක්කු සංඥා මගින් පණිවිඩයක් ලබාදීමටත් ජපනුන් එනතුරු දූපත් අල්ලා ගැනීමටත් කළ ඔහුගේ සැලැසුමට සගයෝ 30 දෙනෙක් එකඟ වූහ.

කැරැල්ල හටගන්නේ 1942 මැයි 8 වැනිද‌ා රාත්‍රී 8.30 ට පමණය. එරට රඳවා සිටි ලංකා ගැරිසන් කාලතුවක්කු ඛණ්ඩයේ සෙබළුන් 56 දෙනාගෙන් 30 දෙනෙක් බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරියා පැවරූ රාජකාරිවලට අකීකරුව ඔහු ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වෑයමක යෙදුණහ. කැරලිකාරි හමු‌ද‌ා කණ්ඩායමේ අරමුණ වුණේ දූපත බ්‍රිතාන්‍යයේ පාලනයෙන් ඉවත් කර ජපානයට භාරදීමය. මෙය ජපානයේ උපදෙස් මත සිදුවූවක්ද නැතිනම් කැරලි කණ්ඩායමේ ස්වේච්ඡා තීන්දුවක් මත සිදුවූවක් දැයි පැහැදිලි නැතත් කැරලිකාරීත්වයෙන් බ්‍රිතාන්‍ය නිලධාරීහු වික්ෂිප්තභාවයට පත්වූහ.

අණදෙන නිලධාරියා වූ ගාඩිනර් අත්අඩංගුවට ගෙන කාලතුවක්කු වෙඩි සංඥා මගින් ඒ අසල තිබූ ජපානයට අයත් ක්‍රිස්මස් දූපතට තම කැරැල්ල දැනුම්දීමට ඔවුන් සැලසුම් කර තිබූ බව හෙළිවිය. කැරලිකරුවෝ තමන් අත තිබූ කුඩා ගිනි අවි මගින් වෙඩි තැබීම් ගණනාවක් සිදු කළහ.

බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාති තවත් භටයන් පිරිසක් අසීරුවෙන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් දියත් කළ අතර එහිදී කැරලිකරුවන්ට එරෙහි කණ්ඩායමේ අවිකරුවකු වූ සමාරිස් ජයසේකර මියගියේය. දූපතේ දෙවැනි නිලධාරියා වූ ලුතිනන් ස්ටෙෆන්ස් තුවාල ලැබීය. කැරලිකරුවන් බර අවි වූ කාලතුවක්කු තමන් යටතට ගන්නට දැරූ වෑයමද මේ වන විට පරාජය කර තිබිණ. මේ නිසා රාත්‍රිය පහන් වන විට කැරැල්ල ලාංකික සෙබළුන්ගේ අවාසියට තීන්දුවී තිබුණේය.

ඔහු අයත්ව සිටි සී.එල්.අයි. යනුවෙන් එවකට හැඳින් වූ ලංකා පාබල හමුදා ඒකකයේ බොහෝ දෙනා කැරැල්ල අනුමත නොකිරීම නිසා ප්‍රනාන්දු ඇතුළු පිරිසට බ්‍රිතාන්‍යයන්ගෙන් ගලවා ජපානයට මෙම දූපත පවරාදීමට තිබූ අරමුණ ඉටුකර ගැනීමට ලැබුණේ නැත. කැරලි නායකයා වූ ප්‍රනාන්දු යටත්වීමේ කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළේ තමන්ට එරෙහි නඩුව මෙම දූපතේදී නොව ලංකාවේදී සිදුකළ යුතු බවය.

පසුව මේ පිළිබඳ විමර්ශනය කළ පිරිස සැක කරන්නේ හුදකලා කොකෝස් දූප​ෙත්දී නොව කොළඹ දී මේ පිළිබඳ නඩු විභාගය පවත්වන්නේ නම් එය ජාතික හැඟීම් ඇවිස්සීම සඳහා උපයෝගී කරගැනීමේ මහඟු අවස්ථාවක් ලෙස කැරලි නායකයා සිතන්නට ඇති බවය. එහෙත් එය එසේ සිදුවුණේ නැත. කඳවුර අණදෙන නිලධාරියා වූ ගාඩිනර් ප්‍රනාන්දු සහ තවත් 15 දෙනකු එම දූපතේදීම යුද අධිකරණයක් හමුවට ඉදිරිපත් කළේය.

මෙමගින් කැරලිකරුවන් හත් දෙනකු මරණීය දණ්ඩනයට යටත් කළ යුතු යැයි තීන්දු විය. හතර දෙනකු දීර්ඝ සිර දඬුවමකට යටත් කෙරිණි. කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යයන්ට ආධාර කර දිවිපිදු අවිකරු සමාරිස් ජයසේකර වෙනුවෙන් ගාඩිනර් ඇතුළු බ්‍රිතාන්‍ය හමුදාව පූර්ණ හමුදා ගෞරව පිරිනමා ඔහුගේ දේහය ප්‍රධාන අසලම ඇති හෝස්බර්ග් දිවයිනේ තාවකාලිකව මිහිදන් කළ අතර දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවසන් වූ පසු සිංගප්පූරුවේ පිහිටි ක්රාන්ජි යුද අනුස්මරණ සුසාන භුමියේ එම දේහය ස්ථිරව තැන්පත් කරන ලදි.

කැරලි නායකයන්ට මරණීය දණ්ඩනය නියම කළ පසු ඔවුන් නැව් මගින් ලංකාවට යවන ලදුව රඳවා තිබුණේ අලුත්කඩේ මිලිටරි රැඳවුම් බැරැක්කවලය. මරණ දඬුවමට නියමවූවන්ගේ පවුල්වල අය එවකට සිවිල් සහ යුද කොමසාරිස් තනතුරේ සේවය කළ සර් ඔලිවර් ගුණතිලක, රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජික සුසන්තා ද ​ෙෆාන්සේකා සහ එච්.ඩබ්ලිව් අමරසූරිය මගින් එවකට මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාවූ සර් ඇන්ඩෲ කැල්ඩිකොට් සහ අද්මිරාල් ජෙෆ්රි ලේටන්ගෙන් ඉල්ලා සිටියේ දෙවැනි අධිකරණ ක්‍රියාවලියක් යටතේ නැවත මෙම නඩුව විමසා බලන ලෙසය. යුද නීති යටතේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

කුමන්ත්‍රණ නායකයා වූ ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයන්ගෙන් සමාවක් අයැදීම අවසන් මොහොත තෙක්ම ප්‍රතික්ෂේප කළේය. තමා දේශප්‍රේමියකු බව කියා සිටි ඔහු විදේශිකයන්ගේ පයට පෑගී සිටින තාක් කල් රටක දේශප්‍රේමී හැඟීම් නැති කළ නොහැකි බව කියා සිටියේය.

ඔහුගේ අවසන් වදන් ලෙස වාර්තාගතව ඇත්තේ මෙම ප්‍රකාශයයි.

බොම්බඩියර් ග්‍රේෂන් ප්‍රනාන්දු 1942 අගෝස්තු 5 වැනි දින වැලිකඩ සිරගෙදරදී එල්ලා මරාදමන ලදී. ඔහුගේ සගයන් වූ අවිකරු කාලෝ ඔගස්ටන් ගවුඩර් 1942 අගෝ්ස්තු 7 වැනිදා ද අවිකරු ජී. බෙනී ද සිල්වා 1942 අගෝස්තු 8 වැනි දිනද එල්ලා මරාදමන ලදී. අවිකරු ආර්.එන්. හැමිල්ටන්, ලාන්ස් බොම්බඩියර් කිංස්ලි ඩයස්, අවිකරු ඒ.ජෝශප් එල් පීරිස්, අවිකරු ​ෙජරීද ආනන්ද රාජා, අවිකරු ඒ.බී. එඩ්මන්, එම්.ඒ හොප්මන්, අවිකරු එෆ්.ජේ. ඩැනියෙල් සහ අවිකරු කෙනත් ආර්. ප්‍රොව් යන මරණ දඬුවමට නියම වූ සෙසු පිරිස ජීවිත සමාව දී වසර හතේ සිට දෙක දක්වා සිරදඬුවම්වලට ලක්කරන ලදී.

අනුන්ගේ අධිරාජ්‍යයක් වෙනුවෙන් සටන්බිමට ගිය ලාංකිකයන් පිරිසක් තම ජීවන ගමන අවසන් කළේ ඒ අයුරිනි.

‘කැරලිකාරයෝ සිහිවටන, සමරු පුවරු, ස්ථිර මිනීවළවල් සඳහා උරුමකම් නොලබති. ඔවුන් ලබන්නේ මිහිතලයේ නොගැඹුරු වළක් 

 

මේ විස්තර අන්තර්ජාලයෙන්

දුලාන්