Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

ආසියානු කුසලානය බලන්න යද්දි බීමතින් මඟ නිදා සිටි තරුණයාට අත් වූ ඉරණම

5463Views

 

 
 

 

 

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මේෆීල්ඩ් මංසන්ධියේ අසල අද (සැප්. 12) උදෑසන පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

එම මළ සිරුර, වයස අවුරුදු 30ක් වූ බලංගොඩ, මොරහැල, මැදගමමැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට හඳුනාගෙන ඇත.

දිඹුල – පතන පොලිසිය සඳහන් කළේ, ඔහු තලවකැලේ පිහිටි මාළු වෙළෙඳසලක සේවය කරමින් සිටි අයෙක් බවට හඳුනාගෙන ඇති බව ය.

අධිකරණ නියෝගය ලැබීමෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා නුවරඑළිය දිසා රෝහලට භාරදීමට නියමිත ය.

සොයාගත් මළ සිරුරේ තුවාල තිබූ බව ත් ඔහු රිය අනතුරකින් මියගොස් ඇති බවට පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මියගිය තරුණයා ඊයේ තලවකැලේ ප්‍රදේශයේ සිට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා හැටන් කුඩාගම ප්‍රදේශයේ නවාතැන්පොළ වෙත යන අතරතුර බීමත්ව පැමිණ ඇතැයි පොලිසිය සැක කරයි.

එම අවස්ථාවේදී ඔහු ප්‍රධාන මාර්ගයේ වැතිරී සිටියදී හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් ඊයේ රාත්‍රී 11.00ට පමණ බිම වැතිරි සිටි තරුණයාගේ ඇග මතින් ධාවනය වී ඇති අතර, එම අවස්ථාවේ වෑන් රථයේ සිටි පුද්ගලයෙකු ඉන් බිමට බැස අනතුර දැක අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකර පළා යන අයුරු අනතුර සිදු වූ ස්ථානයේ වෙළෙඳසලක සවි කර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.

අනතුර සිදු කර පළා ගිය වෑන් රථය සහ රියැදුරු අත්අඩංගුවට ගැනීමට දිඹුල පතන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

 

උපුටා ගැනීම
රංජිත් රාජපක්ෂ, චන්න අද්දරගේ ( දිවයින පුවත්පතින් )