Thursday, December 8, 2022
/ - General line - 0115112241 | - [email protected]

රැජිනට අවසන් බුහුමන් දක්වන පෝලිමේ පළමු තැන ලාංකික කතකට

3597Views

 

 
 

 

 

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙළගැසෙන පෝලිමේ මුල්තැන ගෙන සිටින පුද්ගලයෙකු පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අවසන් ගෞරව දැක්වීම සඳහා  පෝලිමේ මුල්තැන ගෙන ඇත්තේ 56 හැවිරිදි වියේ පසුවන හැරෝහි පදිංචිකාරියක වන වැනීසා නාතකුමාරන් නම් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක් බවයි බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සඳහන් කර සිටින්නේ.

මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දක්වන මහජන ප්‍රදර්ශනය ඇරැඹීමට පැය 48කට පෙර පැමිණි ඇය එම අවස්ථාව අහිමිකර නොගැනීම සඳහා ලැම්බෙන් පාලම අසල හෝටලයක නැවතී ඇති බවයි වාර්තා වෙන්නේ.

පරිපාලන සහායිකාවක් ලෙස ශ්‍රී ලංකාවේ සේවය කර 1980දී වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවත් ඇයගේ මහප්පා වන ශ්‍රී වෛද්‍යලිංගම් දුරේසාමි ශ්‍රී ලංකාවට කළ සේවය වෙනුවෙන් මහ රැජිණගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජු විසින් ඔහුට නයිට් නාමයකින් පුදනු ලැබූවකු බවද ඇය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

තවද ඇයගේ දියණිය ප්‍රවීණා නාතකුමාරන් ගුවන් කැඩෙට් භට බළකායේ සාමාජිකාවක ලෙස දෙවැනි එළිසබෙත් මහ රැජිණ හමුවී ඇති බවද  මේ ආකාරයෙන් මහ රැජිණගේ ජීවිතය සමඟ  බද්ධ වීමට ලැබීම ගැන තමා ආඩම්බර වන බව ද පවසා තිබෙනවා.

මහ රැජිණගේ දේහය දැක බලා ගැනීමට අවශ්‍ය වූයේ ඇයිදැයි ඩේලි මේල් පුවත්පත ඇසූ අවස්ථාවේදී ඇය පවසා ඇත්තේ මෙවැන්නක්

"මහ රැජිණ ඉතා හොඳ සේවයක් සැපයුවා. ඇය දැඩි කැපවීමකින් වැඩ කළා. ඇය අපේ රට වන බ්‍රිතාන්‍යයට, ජාත්‍යන්තරයට වගේම පොදු රාජ්‍ය මණ්ඩලයටත් සේවය කළා. ඇය කරුණාවන්ත ලෙස සෑම දෙනාටම එකම ආකාරයෙන් සලකන ආකාරයට මං ගෞරව කරනවා "

මහ රැජිණගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට පෙළගැසෙන මහජන පෝලිමේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත වැනීසා නාතකුමාරන්ට පසු සිටගෙන ඇත්තේ ඝානාවේ ග්‍රේස් ගොතාර්ඩ් නම් කාන්තාවක් බවයි පුවත්පත වාර්තා කරන්නේ.