Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ධර්මාචාර්ය විභාගයට මුහුණ දුන් බන්ධනාගාරගත රැදවියන් ඉහලින් සමත්

661Views

 

 
 

 

 

බන්ධනාගාර දෙපාර්තමේන්තු පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් අංශයක් ලෙස දහම්පාසල් අධ්‍යාපනය සුවිශේෂි වෙයි. වැරදිකරුවන් වු මෙම පුද්ගලයන් යහපත් විනයගරුක හා සදාචාර සම්පන්න පුද්ගලයෙකු බවට පත් කිරීමේ පරම අභිලාෂයෙන් මෙම ක්‍රියාදාමය සිදු කරනු ලබයි. ඒ අනුව සෑම බන්ධනාගාර ආයතනයකම දහම් පාසල් අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතු සිදු කරනු ලබන අතර, මෙම කර්තව්‍ය බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගින් සෑම වර්ෂයකම සිදු කරනු ලබයි.

වැරදිකරුවන් වු මෙම නේවාසිකයන් යහපත් විනයගරුක සදාචාරසම්පන්න පුද්ගලයන් බවට පත්කිරීමේ අරමුණින් සිදුකරනු ලබන දහම් අධ්‍යාපනය ලබා දීම දිවයිනේ සියලූම බන්ධනාගාර වල ක්‍රියාත්මක වෙයි.

මෙම කටයුත්ත සඳහා බන්ධනාගාර නිළධාරීන්, පිටස්තර ගුරුවරුන් හා බන්ධනාගාරය තුළ දී දහම් අධ්‍යාපනය ලබා ධර්මාචාර්ය විභාගය සමත් නේවාසිකයන්ද දහම් ගුරුවරුන් ලෙස කටයුතු කරයි. එහි ප්‍රථිඵලයක් ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසලෙන් 2019 වර්ෂයේ ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිටි නේවාසියන් 04 දෙනෙකු එම විභාගයෙන් විශිෂ්ඨ අයුරින් සමත් වී ඇත.

•    වයස අවුරුදු 52 වන වසර 25ක සිරදඩුවම් විදින නේවාසිකයා
විශිෂ්ඨ සාමාර්ථ 05ක් (D) ලබා ඇත.


•    වයස අවුරුදු 43 වන මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදින නේවාසිකයා
විශිෂ්ඨ සාමාර්ථ 04ක් (D) සම්මාන සාමාර්ථ 01 ක් (C) ලබා ඇත.


•    වයස අවුරුදු 49 වන මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදින නේවාසිකයා.
විශිෂ්ඨ සාමාර්ථ 04ක් (D) සම්මාන සාමාර්ථ 01 ක් (C) ලබා ඇත.


•    වයස අවුරුදු 59 වන වසර 15ක සිරදඩුවම් විදින නේවාසිකයා
විශිෂ්ඨ සාමාර්ථ 01ක් (D) සම්මාන සාමාර්ථ 04 ක් (C) ලබා ඇත.


මෙම විභාගය සමත් නේවාසිකයන් ප්‍රකාශ කර සිටියේ භ‍ාහිර සමාජයේ ලබා නොගත් අධ්‍යාපන කටයුතු බන්ධනාගාරය තුළදී හැදෑරීමට අවස්ථාව ලැබුණු බවත්, ඒ තුළින් මෙම විභාගයන් ජයග්‍රහණය කිරීමට හැකි වු බවයි.

මෙය බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂි හැරවුම් ලක්ෂයක් ලෙස දැක්විය හැකි බව බන්ධනාගාර කොමසාරිස් (පාලන , පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.